ඔහු දැඩි කල්පනාවකය. දාං ලෑල්ලේ ඉත්තන් දෙස උපායශීලීව බලා සිටින ඔහු ප්‍රතිවාදියා පහසුවෙන් පරාජය කළේය. පසෙක් ඇති හැරමිටියට තරමක් වාරු වූ හෙතම නැගිටින්නේ පොතක් අතින් අරගෙනය. එය සාමාන්‍ය දැනීම පොතකි. පුටුවකට බර වූ ඔහු ඒ පොත කියවයි. අසළින් යන දරුවකු නවතා ගෙන ඒ පොතේ ඇති කරුණු සම්බන්ධයෙන් දරුවාගෙන් ප්‍රශ්න කරයි. තවත් අවස්ථාවක දී ඔහු ඒ දරුවන්ට තමන් අතීතයේ දී කළ කී දෑ මෙන් ම ඇසු දුටු දෑ ගැන අපූරු විස්තරයක් කරයි.
මේ ගාල්ලේ හපුගල ප්‍රදේශයේ ජීවත්වන 104 වැනි වියට පා තබා සිටින පුංචිඅප්පු විතාන මහතාය. ඔහු පසුගිය නොවැම්බර් මස 23 වැනි දා අපූරු වාර්තාවක් තම ජීවිතයට එක්කරගත්තේය.
ඒ ශ්‍රී ලංකාවේ දී අක්ෂි කාච දැමීමේ සැත්කමකට ලක් වූ වයස්ගත ම පුද්ගලයා බවට පත්වෙමිනි. ගාල්ල නගරයේ පුද්ගලික රෝහලක දී මේ සැත්කම සිදුකරන ලද්දේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය විසිනි.
පුංචිඅප්පු විතාන මහතා මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ගම්මානයේ දී සහෝදර සහෝදරියන් 07 දෙනකුගෙන් යුතු පවුලක හයවැන්නා ලෙස උපත ලබා ඇත්තේ 1921 ජූලි 23 වැනි දා ය. පිටබැද්දර එල්.කේ.සුමනාවතී මහත්මිය සමඟ විවාහ වූ හෙතෙම දරුවන් 08 දෙනකුගේ පියෙකි. දැන් දරු මුණුපුරන් මෙන්ම මී මුණුපුරු මිණිපිරියන් රැසක් ද සිටින විතාන මහත හපුගල පදිංචි සිය දියණියකගේ නිවසේ ජීවත් වෙයි.
නිවසේ ඔබ මොබ ඇවිද යාමට හැකි තරම් නිරෝගී විතාන මහතාට මෑතක් වනතුරුම සාමාන්‍ය පරිදි පොත් පත් කියවීමට හැකියාව තිබිණි.
“මම පත්තර කියවන්න පටන් ගත්තේ පත්තරේ ශත 05ට ගන්න කාලේ ඉදලා. දිනපතා පත්තරත්, ඉරිදා පත්තරත් නොවරදවා ම ගත්ත. ඒ හැම පත්තරයක් ම අකුරක් නෑර කියවනවා. රැකියා ඇබෑර්තු පවා කියවලා අපේ ගමේ අයට රැකියා අවස්ථාවන් ගැන පවා කියලා රස්සාවල්වලට යොමු කරලා තියෙනවා. ඒ වගේම හැමදාම පොත් කියෙව්වා. මේ මෑතක් වෙනකන්ම පොත් කියෙව්වා. විශේෂයෙන් ම සාමාන්‍ය දැනීම පොත් කියවන්න මම කැමතියි. සුභාෂිතය, ප්‍රත්‍යශතකය, ලෝවැඩසඟරාව වගේ ඉස්සර කියවපු පොත් නැවත කියවන්න ආසයි. නමුත් දැන් මාස කිහිපයක ඉදලා මගේ ඇස් ටිකක් දුර්වල වුණා. පටලයක් බැඳිලා වගේ පෙනීම අඩු වුණා. ඒ නිසා මම හිතුවාා කාච දැම්මොත් මේ ප්‍රශ්නය විසඳාගෙන මට තවදුරටත් පොත්පත් කියවන්න පුළුවන් වේවි කියලා.”
ඔහු තම අවශ්‍යතාව දරුවන්ට පැවසූ විට ඔහුගේ දරුවෝ, තම පියා සමඟ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහ්තමිය හමවූහ.
වෛද්‍යවරිය ඒ පිළිබඳ මෙසේ කීවාය.“මාව හමුවෙන්න ආවේ වයස අවුරුදු 104ක මහත්මයෙක්. දැකපු වෙලාවේ මම පුදුමයට පත්වුණා. එතුමා මට කිව්වා පොත්පත් කියවන්න තමන්ගේ ඇස් දෙකට කාච දාගන්න ඕන කියලා. ඒකට ලොකු උනන්දුවක් එතුමාට තිබුණා. මම ඇස් පරීක්ෂා කළාම දැක්කා ඒ ඇස් ඉතාමත් නිරෝගීයි. කාච දැමීමෙන් පෙනීම නැවත ලබාගන්න පුළුවන් මට්ටමක තිබුණේ. එතුමාට වෙනත් රෝග කිසිවක් තිබුණේ නැහැ. ඒ නිසා සැත්කමක් කරන්න පූර්ණ සුදුසු නිරෝගී තත්වයක් සිටි නිසා මම ඒ ගැන එතුමාටත් දරුවන්ටත් පැහැදළි කරලා සැත්කම කිරීමට තීරණය කළා. ඒ අනුව අපි එක ඇසක සැත්කම කළා. දැන් ඒ ඇසේ පෙනීම හොඳ මට්ටමට ඇවිත් තිබෙනවා. ඉදිරියේ දී අනෙක් ඇසෙත් සැත්කමක් කරමු කියලා එතුමා කියනවා. මේ ගැන ඇත්තටම සතුටුයි. මේ තරම් වයස්ගතව සිටිය දී තමන්ගේ පෙනීම ලබා ගැනීමට ඔහුට තිබුණු උනන්දුව පුදුමාකාරයි. ඒ වගේම පොත් කියවන්න දැනුම ලබාගන්න තිබෙන ආශාවත් අපි අගය කරනවා. මෙය සමස්ත සමාජයට ම හොඳ ආදර්ශයක්.”
මේ වනවිට ඔහුගේ සැත්කම සාර්ථකව අවසන් කර ඇත. විතාන මහතා පවසන්නේ තමන්ට දැන් වෙනදාට වඩා ඇස් පෙනීම ඇති බවයි.
ඔහු තම දරුවන් මෙන්ම මුණුපුරු මිනිපිරියන් 16 සහ මී මුණුපුරු මිනිිපිරියන් 11 දෙනකු සමඟ සමඟ එක්ව අතීත සිදුවීම් සිහිපත් කරමින් කාලය ගත කිරීමට මහත් සේ ප්‍රියකරන ඔහුගේ මතක ශක්තිය පුදුමාකාරය.
අතීතයේ සමාජ සංස්ථාවේ පැවැත්ම පිළිබඳ ඔහු කරන විස්තර වර්තමාන පරපුර අසාගෙන සිටින්නේ විස්මිතවය. වැසිකිළි නොතිබූ, යටිකය පමණක් යන්තමින් වැසෙන සරම් කඩමාල්ලක් ඇඳගෙන පාසල් ගිය යුගය, දෙමාපියන් සමඟ ගොවිතැන් කළ අයුරු ගැන කියද්දී නූතන පරපුරේ දරුවන්ට ඒවා පුදුම සහගතය. පැරණි සාහිත්‍ය පොත්පත්වල තිබූ ගී, කවි, සීපද මෙන්ම ශ්ලෝක ද තුවාලයක්, ලෙඩක් දුකක් වූ විට ප්‍රතිකාර ලෙස සිදුකරන අත් බෙහෙත් ද ඔහු කියා දෙයි.එකළ රජයේ රැකියාව කිරීමටත් කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමටත් අපමණ වෙහෙසක් දැරූ ඔහු එකළ වගා කළ අයුරුත්, මාතර සිට පිටබැද්දර, දෙනියාය ප්‍රදේශයට පයින් ගිය අයුරු සහ තවලමේ සහ පාරුවේ බඩු රැගෙන ගිය ආකාරයත් වර්තමාන දරුවන්ට චිත්‍රපටියක් මෙන් කියා දෙයි.
සිය වසකට වැඩි ඉතිහාසයක සජීවී මතකයන් දරා සිටින විතාන මහතා සැබැවින් ම මහා කෝෂ්ඨාගාරයක් වැනිය. නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන ඔහු පවසන්නේ දැන් සමාන්‍ය දැනීමේ පොත්පත් කියවන්නේ විභාගයට මුහුණ දීමට නොවන බවයි. ජීවිතයේ අවසන් කාලයේ දී වුව තමන් නොදන්නා දෙයක් දැනගැනීමට ඇති ආශාව නිසා පොත් කියවන බව පවසන ඔහු අධ්‍යාපනයේ වටිනාකම නිතරම දරුවන්ට කියා දෙන්නෙකි.සැත්කමෙන් පසු ඔහුගේ පෙනීම වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ දී අක්ෂි කාච බද්ධ කරන සැත්කමක් කළ වයස්ගතම පුද්ගලයා වූ පුංචිඅප්පු විතාන මහතා දැන් මහත් සතුටින් පසුවෙයි.