අතීත මානවයා අවමංගල්‍ය කටයුතු ක්‍රමවත්ව සිදු කළ බවට ඉබ්බන්කටුවෙන් හමුවන මේ නටඹුන් සාක්ෂි දරයි. එකල කෙනකු මියගිය විට සිරුර පීඨිකාවක් මත තබා ආදාහනය කෙරිණි.
වර්තමානයේ එය සිදුකරන්නේ ආදාහනාගාර භාවිතයෙනි.
ගාල්ලේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට දිගු කලක සිට අඩුවක්ව පැවති ආදාහනාගාරයක් ඉදිකිරීම සඳහා යෝජනාවක් සම්මත වන්නේ 2020 වර්ෂයේ දීය.එම යෝජනාව සඳහා සභා අනුමැතිය හිමි වීමත් සමඟ, ශක්‍යතා අධ්‍යයනයක් පවා සිදු නොකොට ඉදිකිරීම් සඳහා ස්ථානයක් තෝරාගනු ලැබූ අතර ආරම්භයේදීම ඊට දැඩි මහජන විරෝධයක් එල්ල විය.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් නැතැයි සභාවේ හිටපු සභිකයින්ම චෝදනා කළේය. හතර වතාවක් ආදාහනාගාරය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමට සභාවට සිදු විය.2021 පෙබරවාරි මාසයේ දී පළමු ටෙන්ඩරය මගින් සමාගමක් තෝරා ගැනිණි. ජූලි මාසයේ දී දෙවැනි වරටත් නැවත ටෙන්ඩර් කැඳවූ අතර පූර්ව සමාගමට වඩා ලක්ෂ 35 ක වැඩි ලංසුවක් ඉදිරිපත් කළ ප්‍රේමදාස සහ පුත්‍රයෝ නම් සමාගමට ඉදිකිරීම් භාර කෙරිණි.
එම සමාගම 2021 නොවැම්බරයේ වැඩ ආරම්භ කළ ද, බිම් සැකසීම පවා සිදුකර ඇත්තේ සභාවේ යන්ත්‍රසූත්‍ර සහ ශ්‍රමය යොදා ගනිමින්යැයි චෝදනා ඉදිරිපත් විය. පාදම සහ කණු කිහිපයක් ඉදිකිරීමට මාස 08ක් වැය කළ එම සමාගම අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇතැයි පවසමින් ඉදිකිරීම් අතරමඟ නවතා දැමුවේය.
එම ඉදිකිරීම් වෙනුවෙන් සභාවෙන් ගෙවූ මුදල රුපියල් ලක්ෂ 65කි.
2023 වර්ෂයේ දී තෙවැනි වතාවටත් ටෙන්ඩර් කැඳවිණි. එහි දී ඉදිරිපත් වූයේ ආසිරි කන්ස්ට්‍රක්ෂන් නමැති එක් ආයතනයක් පමණි. එම ටෙන්ඩරය ද මුදල් කමිටුව ප්‍රතික්ෂේප කළේ සමාගමට නර්ඩ් ආයතනයේ ලියාපදිංචිය නොමැති බව පවසමිනි.මේ වනවිට, නැවත සිව්වැනි වතාවටත් ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් කටයුතු ආර්.ආර්. නම් සමාගමක් වෙත පවරා තිබේ.
ඉදිකිරීම සඳහා අවසන් ඇස්තමේන්තුගත මුදල රුපියල් හාරකෝටි හැට ලක්ෂ විසි දෙදහස් පන්සිය හතලිස් හතරකි. කලින් සමාගමට ගෙවූ රුපියල් ලක්ෂ 65ක් සමඟ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 5.25කි.
මුල් වරට සභාවේ සම්මතවූ යෝජනාව වූයේ ද්විත්ව කුටීර ආදාහනාගාරයක් ඉදිකිරීමටය. ඒ සඳහා ඉදිරිපත් වූ පළමු ලංසුව රුපියල් කෝටි තුනකි. නමුත් දැන් රුපියල් කෝටි 5.25ක් වැය කරමින් ඉදිකරනු ලබන්නේ තනි කුටීරයක ආදාහනාගාරයකි.
මෙහි යොදාගෙන ඇති තාක්ෂණය හේතුවෙන් වැඩි ගෑස් ප්‍රමාණයක් වැය වන බවටද,ගාල්ලේ වෙනත් ආදාහනාගාරයන්ට ගෙවන මුදල මෙන් දෙගුණයක් පමණ මේ ආදාහනාගාරයට ගෙවීමට සිදුවන බවටද මේ වනවිටත් ජනතාවගේ විරෝධයක් ඉදිරිපත් වී තිබේ.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට මෙම කාර්යය විධිමත්ව අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි?
මේ පිළිබඳ අප සභා ලේකම්වරයාගෙන් විමසුව ද මාධ්‍යයට කිසිවක් නොකියන්න යැයි ඔහුට ඉහළින් නියෝග ලැබී තිබිණි.
පළාත් පාලන කොමසාරිස්වරියට දුරකථනයෙන් ඇමතූ විට ඇය මෙසේ කීවාය.
“මම ආවේ අලුතෙන්. මේ ගැන කිසිවක් දන්නේ නෑ. මේකට මට වගකියන්න බෑ. එතන වැරැද්දක් වෙලා කියලා මම හිතන්නේ නෑ. කොහොමත් මාධ්‍යයට කිසිම දෙයක් කියන්න බැහැ.”
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නයැයි හිටපු මහජන නියෝජිතයින්ම ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුවී නැත. ‘වරදක් සිදුවී ඇතැයි තමා නොසිතන බව’ පළාත් පාලන කොමසාරිස්වරිය පවසන්නේ කිසිඳු විධිමත් විමර්ශනයකින් තොරවය.කොමසාරිස්වරියගේ ප්‍රකාශය නිල ප්‍රකාශයක් ලෙස සැලකුවහොත්, එයින් කියවෙන්නේ, ශක්‍යතා අධ්‍යයනයක් නොමැතිවීම, ගැටලුකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මූල්‍ය අක්‍රමිකතා සහ බලධාරීන්ගේ වගවීමක් නොමැති ක්‍රියාකලාපයන් පිළිබඳව මහජනතාවට සහ මහජන නියෝජිතයින්ට පැනනැඟී ඇති ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට වගකිවයුතු බලධාරියෙකු නොමැති තරමට පළාත් පාලන යාන්ත්‍රණය කඩාවැටී ඇති බවක්ද?
මේ ඉදිකිරීම් වෙනුවෙන් වැය කර ඇති සෑම රුපියලක්ම මහජනතාවගේ බදු මුදල්ය. මහජනතාවට කෝටි ගණනක වැයක් දරා,කිසිඳු ප්‍රතිලාභයකින් තොරව වසර හතරක් තිස්සේ බලාසිටින්නට සිදුවීම පළාත් පාලනයේ ඛේදනීය තත්ත්වයක් නොවන්නේ ද ?
(සිරංගිකා ලොකුකරවිට විසිනි)