spot_img
spot_imgspot_img

නිදන් හෑරූ රජයේ ලොක්කෝ, බලාපොරොත්තු අත්හරිති

පුවත්

විදෙස්

නිදන් සොයා දින තුනක කාලයක්, වළවල් හාරා මහ කළු ගලක් කුඩුකළ රාජ්‍ය ආයතන රැසක විධායක ශ්‍රේණියේ සිට පහළම ශ්‍රේණිය දක්වා නිලධාරීන් එම උත්සාහය අතහැර අද (23) විසිර ගියහ.

වේයන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ස්ථානයේ නිධානයක් ඇත්දැයි සෙවීමට කැණීම් කරන්න යැයි අවසර ලබා දී තිබිණි. මෙම කාර්යය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහභාගී වී සිටියහ.

එම කටයුත්තේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොමැත. 

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා හමුවේ පසුගිය කාලයේ බෞද්ධ භික්ෂූන් ඇතුළු විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබුණි.

කෙසේ වෙතත් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවුණි.

ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසය.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේදීය.

පළමු දිනයේ (21) වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කැණීම්වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවන දිනය වූ ඊයේ (22) කැණීම්වලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයා ගැනුණි.

එම ගල ඉවත් කිරීම සඳහා ඊයේ දහවල් දොඹකරයක් ද රැගෙන ආ නමුත් එම කටයුතු අවසන් කිරීමට නොහැකි වුණි.

කැණීම් කටයුතු සඳහා අත්නගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින දෙකක් පමණක් බැවින් එම කාලය ඊයේ පස්වරුවේ අවසන් වුණි.

වේයන්ගොඩ පොලීසිය පැවසුවේ, පසුව යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් ලෙස අද දිනයත් ලබා ගත් බවය.

ඒ අනුව තුන්වන දිනටත් නිධානය සොයා කැණීම් කටයුතු අද පෙරවරු 9.00ට ආරම්භ කෙරුණි.

විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

අනතුරුව ගල් කැබලි මහජනතාව ඉදිරියේ කුඩු කරනු ලැබීය.

ඒ අනුව නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව අද පස්වරු 4.00ට කැණීම් කටයුතු අවසන් කෙරුණි.

එහි සිටි පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් එළැඹෙන අඟහරුවාදා දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවය.

මේ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද අද ප්‍රකාශ කළේ අදාළ ස්ථානයේ කිසිඳු පුරාවිද්‍යාත්මක වටිනා දෙයක් එහි නොමැති බවට වාර්තා වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!