-0.4 C
New York

රමේෂ්, රොෂාන් සහ ප්‍රසන්න CID කැඳවයි. හරීන් බැහැ කියයි

Published:

රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ සහ ප්‍රසන්න රණතුංග යන හිටපු අමාත්‍යවරු අද (21) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටිති.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් 18 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනි දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිිකරණයට කරන ලද දැනුම් දීමකට අනුව ඔවුන් කැඳවා ඇත.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය හමුවේ කියා සිටියේ, ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීමට 2022 සැප්තැම්බර් 26 වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව යොමුකරන අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් 18 දෙනෙකු සිට ඇති බවයි.

අදාළ කැබිනට් පත්‍රකාවේ අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොවූ පසුබිමක, සත්‍ය වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න හෝ සොයාබැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකාවට අවසරය දුන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රකාශ සටහන් කළ යුතු බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

එම ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු වෙත විමර්ශන නිලධාරින් දැනුම් දී තිබුණි. හරීන් ප්‍රනාන්දු අද පැමිණිය නොහැකි බවත්, වෙනත් දිනයක පැමිණෙන බවත් දන්වා ඇත.

Related articles

Recent articles

spot_img