-0.1 C
New York

ගුරුවරියන් දෙදෙනකු පහර දී, පාසල් සිසුවියක මරුට

Published:

ගුරුවරියන් දෙදෙනකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් දැරියක පසුගිය 13 වැනි දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුවේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රමේෂා දිනිති නමැති 16 හැවිරිදි දැරියකි.
මෙම අමානුෂික පහරදීමට සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටි 39 හැවිරිදි සහ 57 හැවිරිදි ගුරුවරියන් දෙදෙනා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 18 වැනි දා දක්වා නැවත රිමාන්ඩ් කර ඇත. ඔවුන් දෙදෙනා මීට පෙර සැප්තැම්බර් මස 13 වැනි දා ශරීර ඇප මත මුදාහැර තිබිණි.
මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු මස 09 වැනි දා ය. තවත් දැරියක සමඟ පන්තිකාමරයෙන් එළියට ගිය එම සිසුවිය පැමිණීමට විනාාඩි 20කට අධික කාලයක් ගත වූ බවත්, පැවසූ කරුණු පරස්පර බැවින් ඇයට පහර දී අව්වේ දණ ගැස්වූ බවත් සැකකාර පන්තිභාර ගුරුවරිය සහ අනෙක් ගුරුවරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
රෝගී වූ දැරිය මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසෙහි සැත්කමක් ද සිදුකර තිබිණි. අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇය ඇතුළත් කර පසුව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර යවා සිටිය දී මියගියාය.
දැරියගේ සිරුර සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවරු වී ඇත්තේ මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

Related articles

Recent articles

spot_img