නිදහස් අධ්‍යාපනය විනාශ කරන ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ තවදුරටත් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වත්මන් රජය සහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රකාශ කරයි.
මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ, පසුගිය බදාදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති, අධ්‍යාපන සංවර්ධන සංධාන විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
ඉහත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කිසිදු විනිවිධභාවයකින් තොරව, හිටපු ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත පත් කළ 25 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් සකස් කළ එකක් බවත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු සිවිල් සමාජයේ විවිධ පාර්ශ්ව දැක්වූ විරෝධය, පැවති රජය මුළුමනින්ම නොතකා හැර, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් පවා තොරව එය ක්‍රියාත්මක කරමින් පවතින බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ ඇති නිදහස් අධ්‍යාපනයට හානිකර කරුණු රැසක් අනාවරණය කළ මහාචාර්යවරයා, මෙම ප්‍රතිපත්ති රාමුව මෙරට අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ගැටලුවකට නිසි විසඳුමක් ඉදිරිපත් නොකරන බවද එමගින් ඉටු කෙරෙන්නේ අධ්‍යාපන ව්‍යාපාරිකයන්ගේ සහ ප්‍රභූ පන්තියේ අවශ්‍යතා පමණක් බවද ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණයට ඉදිරිත්ව සිටින කිසිදු පාර්ශ්වයක් මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් කුමන පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න පැහැදිලි නොකිරීම කනගාටුවට කරුණක් බවයි.
මාධ්‍ය හමුව ඇමතූ අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ සභාපති ආචාර්ය චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ, මහ මැතිවරණයක් කැඳවා ඇති තීරණාත්මක අවස්ථාවක, රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි මහජනතාවට හෙළි කිරීම රජය සහ සියලු දේශපාලන පක්ෂවල වගකීමක් වන අතර එය අවධාරණය කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවූ බවයි. රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබඳව තම සංවිධානය වසර 20ක පමණ කාලයක සිට පැවැති විවිධ රජයන්ට විධිමත්ව කරුණු ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා, එවැනි ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් බවද අවධාරණය කළේය.
ගුරු සංවිධාන ක්‍රියාකාරිනියක වන ප්‍රභාෂිණී ශ්‍රියාරත්න, සිවිල් සමාජ ක්‍රියාකාරික කමල් හේරත්, අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ ජාතික සංවිධායක ශාන්ත කුලතුංග යන අයද අදහස් දැක්වූහ.
මහාචාර්යවරයා එහි දී කළ කතාව සම්පූර්ණයෙන් ම පහත සඳහන් කර ඇත.
අද මම කෙටියෙන් ප්‍රකාශ කරන්නෙ මේ විෂය පිළිබඳ මූලික දත්ත. ඒවායේ උදාහරණ සහ වෙනත් කරුණු ප්‍රශ්න මතු කරන අවස්ථාවේ කතා කරමු. නැත්නම් මේක බොහොම දීර්ඝ වෙනවා.
මුලින් කියන්නම් මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව, ඒක හැදුණෙ කොහොමද කියන එක. කැබිනට් එකෙන් 25 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ අට දෙනෙක් ඉන්නවා, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ තමන්ගේ බිස්නස් කරන අය. ඒකෙ ගුරුවරු නෑ. විශ්වවිද්‍යාල ගුරුවරුත් ඉන්නෙ තෝරාගත් දෙන්නෙක්, ඒගොල්ලො වෘත්තිය සමිතියවත් නියෝජනය කරන්නෙ නෑ, ඒගොල්ලන්ගෙ මතය ඇහුවම අපිට කියන්නෙත් නෑ. ඊට පස්සෙ නොයෙක් විදියෙ කට්ටිය. හිටපු ජනාධිපතිගෙ ඥාති පවා ඉන්නවා, වෙන ක්ෂේත්‍රවල අය ඉන්නවා, සංචාරක අංශයේ කීප දෙනෙක් ඉන්නවා, ඉන්නෙ කොහොමද කියල අපි නොදන්න කට්ටියත් ඉන්නවා. කිසිම විනිවිධභාවයක් නෑ. ඒ කමිටුවේ නම් ටික ලබාගන්න අපිට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරන්න වුණා. එහෙම නැතිව දුන්නෙ නෑ. සාමාන්‍යයෙන් වාර්තාවක, ඒ වාර්තාවෙම තියෙන්න එපැයි නම් ටික. ඒ ගොල්ල එක්ක එහෙන් මෙහෙන් කතා කළාම කියන්නෙ, ඔව් ඉතින් අපි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්නවා, ඒක තමයි හොඳම. ඉතින් පෙර පාසලේ ඉඳල තොරතුරු තාක්ෂණය තියෙනව මේකෙ. කෘත්‍රිම බුද්ධියත් තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය දේවල් නෑ.
එකක් තමයි, මේ කමිටුව පත් කළේ කිසිම විනිවිධභාවයකින් තොරව, පෞද්ගලික ඇඳුනුම්කම් මත, රහසිගතව. දෙක, කමිටුවේ වාර්තාව ඔක්තෝබර් මාසයේදී පමණ මේ වාර්තාව ඉදිරිපත් කළා. ඒක කැබිනට් එක අනුමත කළා. මම බොහොම ශිෂ්ට භාෂාවෙන් කිව්වොත් විකාර වාර්තාවක්. ඒක වාර්තාවක් කියන එක නිග්‍රහයක්. මොකද ඔයිට වඩා අසාධාරණ වාර්තා අඩුගානෙ විධිමත්ව තියෙනවා. මේක විධිමත්ව කෙරුණෙත් නෑ. ඊට පස්සෙ, අපේ රටේ චූටි නීති තියනවනෙ සාධනීය ඒවා. ඒ අනුව මේක යන්න ඕන පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවට. ඒකෙ ඉන්නෙ ආණ්ඩුවේ ඇමති ධුර නොදරන මන්ත්‍රීවරු. මේ කමිටුවේ දොළොස්දෙනෙක් ඉන්නවා. ගණපූරණය තුනයි. ඒකෙන් සමහර අය කවදාවත් රැස්වීමකට ගිහින් නෑ. අපි, ඒකට උපදෙස් දීම සඳහා මාස තුනක් එගොල්ලත් එක්ක කතා කළා. සභාපතිත් ඇතුළුව ගණපූරණය තුනයි, හැමදාම ඉන්නෙ තුන්දෙනයි. ඒ නිසා අපට කතා කරන්න පුළුවන් වුණා. විවිධ අය එක්ක කතා කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක කතා කළා. අද ලේකම් නෙවෙයි හෙට එන්නෙ. අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කළාම උත්තර දෙන්නෙ ජනාධිපති කාර්යාලයෙන්. ඒකෙන් පැහැදිලි වුණා මේක ජනාධිපති විසින් කරන ප්‍රතිසංස්කරණයක් කියලා.
හැබැයි ආංශික අධීක්ෂණ කමිටුව විශිෂ්ට වාර්තාවක් ඉදිරිපත් කළා. ඔයාල දන්නව නේ විශිෂ්ට වාර්තාවක් ඉදිරිපත් කළොත් මොකක්ද වෙන්නෙ කියලා. ඒක පාර්ලිමේන්තුවේදි ඒගොල්ල යටපත් කරනවා. ඉතින් මැයි 09 වැනිදා ඉදිරිපත් කළ මේ ආංශික අධීක්ෂණ කමිටුවේ නිර්දේශ- දැඩි නෑ නමුත් බොහොම පැහැදිලි නිර්දේශ මේගොල්ල අතුරුදහන් කළා. ඒක සංවාදයට වත් ගෙනාවෙ නෑ. ඒකයි නෛතික තත්ත්වය. හැබැයි එහෙම තියෙද්දි, හිටපු ජනාධිපති සහ ජනාධිපති කාර්යාලයෙන් ඒක ක්‍රියාත්මක කරන්න පටන්ගත්ත මේ ගැන නිර්දේශ තියෙද්දි, ගැටලු තියෙද්දි.
දැන් පසුබිම පේනවනෙ, විනිවිධභාවයක් නෑ, සාකච්ඡාවක් නෑ, මේ වාර්තාව ඇත්තවශයෙන් එළිදක්වන්න ඕන, මොකද, කනගාටුයි කියන්න, එකම එක පක්ෂයක අධ්‍යාපනය පිළිබඳ එකකවත් නෑ. ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා මේ චූටි කමිටුව පාර්ලිමේන්තුවේ. මම සාරාංශ කරන්නම් මේක තුළ මම දකින ප්‍රශ්න ටික.
එකක් තමයි, කිසිම විනිවිධභාවයකින් තොරව මහාපරිමාණ වෙළෙඳ ආයතනවලට උදව් කිරීමක් වෙනවා, පවතින සමාජ විෂමතා තව උග්‍ර කිරීමේ ක්‍රමයක් මේක. කොටින්ම කිව්වොත්, වරප්‍රසාද සහිත පවුල්වල ශිෂ්‍යයන්ට තව විකල්ප ලබා දීම මිසක් වෙන දෙයක් මේකෙන් වෙන්නෙ නෑ.
දෙක, මේක නව ලිබරල් ආකෘතිය අන්තයටම ගෙනයන, අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස නොව මූල්‍ය ආයෝජනයක් බවට පත් කිරීම. නිදහස් අධ්‍යාපනය විනාස කිරීමක් තමයි මේකෙන් කරන්නෙ. මේ වාර්තාවෙ එක තැනකවත් නෑ අධ්‍යාපන අයිතිය ගැන. නිදහස් අධ්‍යාපනය නෑ. මේක මීට වඩා කුමන්ත්‍රණකාරී වෙන්නෙ, මීට කලින් 2020-2030 කියලා ජාතික අධ්‍යාපන කොමිසමෙන් පිටු 400 ගාණක වාර්තාවක් සකස් කළා, එකෙ මේ සියලුම දේවල් තියෙනවා. ඒක ජනාධිපතිට දුන්නම, ඒක කුණුකූඩෙට දැම්මලු. ඇත්තටම කුණුකූඩෙට දැම්මලු. දාල කිව්වලු, එක නැතුව මේක කරමු කියලා මේ පිටු තිස් ගාණක කෙටි වාර්තාවක් ඉදිරිපත් කළා. නොදැන කියන්න බෑ, මොකද ඒ මුල් වාර්තාවෙ සියලු දෙනාම නියෝජනය වුණා. ඒකෙ තියනව ප්‍රතිපත්ති මාලාවක්, සහභාගි වෙච්ච අයගෙ නම් ලැයිස්තු තියෙනව, ඒක වෙබ් සයිට් එකේ බලන්න පුළුවන්. අනික අපි දන්නවා අපේ රටේ නීතියට අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති තීන්දු කරන්නෙ ජාතික අධ්‍යාපන කොමිසමෙන්. හැබැයි මේ දක්වා එකක්වත් කොමිසමෙන් කියන ඒව පිළිගන්නෙ නෑ. ජනාධිපති තමන්ගෙ හෙන්චයියල කට්ටියකුයි, බිස්නස් කට්ටියකුයි එකතු වෙලා ඒව අයින් කරලා, ඒවයෙ තියෙන දත්ත ගැන වචනයක්වත් කතා නොකර වෙන එකක් හදනවා. ඕගොල්ලො තේරුම්ගන්නකො මේ දෙකේ තියන වෙනස. අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් නෙවෙයි දැන්, ආයෝජනයක්. ආයෝජනයක් කියන්නෙ මුල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීම අරමුණු කරගත් එකක් නේ. උදාහරණයක් කියන්නම්, සෞඛ්‍යය මූලික අයිතිවාසිකමක් නම්, මට ඉස්පිරිතාලෙකට ගිහිල්ල බෙහෙත් ගන්න පුළුවන්. සෞඛ්‍යය ආයෝජනයක් නම්, මොන පිස්සෙක්ද මට බෙහෙත්වලට සල්ලි වියදම් කරන්නෙ? මොකද මට තව වැඩිය ආයුෂ නෑ. අවුරුද්දක් දෙකක් තියෙයි. මට වියදම් කරන බෙහෙත් අපරාදෙ. මොකද අවු. 2ක් ඉන්න කෙනෙකුට දෙනවට වඩා අවු. 20ක් විතර ඉන්න පුළුවන් කෙනෙකුට දෙන එක පලදායකයි. තේරෙනව නේද වෙනස? අපි සටන් කරන්න ඕන මේක අයිතිවාසිකමක් හැටියට තියාගන්න.
ඊළඟට, මේකෙ වැදගත්ම දෙයක් තමයි අධ්‍යාපනයට වැය කරන රාජ්‍ය අරමුදල දැඩි ලෙස අඩු කිරීම. කිසි තැනක නෑ මුදල් වැඩි කරනව කියලා. මුදල් අඩු කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තුන්වන වර්ෂයේ ඉඳන් මුදල් ගෙවන්න කියනවා.
ඊළඟට, ආර්ථික දුෂ්කරතා උපරිම ලෙස පවතින මේ අවස්ථාවේ, අධ්‍යාපනය පෞද්ගලීකරණයට ලක් කිරීම. ඒක හිතාමතා කරන්නෙ. අපි අහන්නෙ මේකයි, දැන් මේ අර්බුදකාරී තත්ත්වයේ, මිනිස්සුන්ට තුන්වේල කන්න බෑ, ඒ වෙලාවෙද අපි අධ්‍යාපනයට සල්ලි අය කරන්නෙ? ඒ වෙලාවෙද ආයෝජනයක් ගැන කතා කරන්නෙ?
ඊළඟ, මෙන්න මේක ඉතාම වැදගත්. ප්‍රභූ සිසුන් හා පාසල් සඳහා තවතවත් විකල්ප හා වරප්‍රසාද ලබාදෙනවා, සක්‍රියව හා දැඩි ලෙස දේශීය ශිෂ්‍යයන් හා අවවරප්‍රසාදිත පාසල්වලට විරුද්ධව අසාධාරණ සිදු කරනවා. මේක තමයි වෙන්නෙ. ඒ පාසල් වහනව. ඒවයෙ තියන සම්පත් අයින් කරනවා. ඉංග්‍රිසි ගුරුවරයෙක් බැරිවෙලා හරි ඉන්නව නම් ඒ දුෂ්කර පාසලක, එයාව ගේනව නගරෙට. එතකොට ඒ පාසලේ ඉංග්‍රිසි නෑ. අපි හොඳටම දන්නව ඔය ප්‍රශ්නෙ. තව තව කේන්ද්‍රගත කරනවා, ප්‍රභූ ළමයින්ට විකල්ප ලබාදෙනවා.
ඊට පස්සෙ, මෙන්න මේක ඉතාම වැදගත්. මේ වගේ දෙයක් කරන්නේ, අර්බුදකාරී අවස්ථාවක හිතාමතා. මොකද, නියෝමි ක්ලයින් කියල කෙනෙක් ලියල තියනව මේ ගැන, මොකද සාමාන්‍ය වෙලාවක කරන්න බැරි ජනතා විරෝධී දේවල් කරන්න පුළුවන් හොඳම අවස්ථාව මිනිස්සු දැඩි පීඩනයෙන් පෙළෙනකොට. මිනිස්සුන්ට ඔළුව උස්සන්න බැරි වෙනකොට. මිනිස්සුන්ට වික්ල්ප නැතිකොට මෙන්න මේක දානවා. හොඳම උදාහරණයක් තමයි, සුනාමි අවස්ථාවේ, සුනාමිය පාවිච්චි කළා වෙරළබඩ ඉන්න ධීවර ජනතාව හා වෙනත් පවුල් ඔවුන්ගෙ ඉඩම්වලින් ඉවත් කරලා හෝටල් දාන්න. මොකක්ද ඒගොල්ලන්ට කිව්වෙ? හෙට නැත්නම් අනිද්දට ආයෙ සුනාමියක් එනවා. එහෙම වුණොත් ඕගොල්ලො ආයෙ විපතට පත් වෙනවා, ඒ නිසා අපි ඔයගොල්ලො ගැන හිතලා, අපි දුක් වෙලා, ඕගොල්ල වෙනුවෙන් අපි ඈත පළාතක ඉඩමක් දෙනවා, එතකොට ඔගොල්ලොන්ට බස්වලින් ඇවිල්ල ධීවර කර්මාන්තය කරන්න පුළුවන්, ඉතින් අපේ අයත් හා කිව්වා. ඉතින් ඒ මිනිස්සු ගිය ගමන්ම හෝටල්වලට දුන්න ඒක. මොකද හෝටල්වලට සුනාමි වැදෙන්නෙ නෑ. ඉතින් තේරෙනවද? අර්බුදකාරී තත්ත්වයක් පාවිච්චි කරලා මේගොල්ලන්ට ඕන ධනේෂ්වරයට අවශ්‍ය දේවල් මිනිස්සු පිට පටවනව. මොකද අපි බෙලහීන වෙලා ඉන්නෙ, ඒ නිසා අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ.
මේ යෝජනාවලිය ගැන එක සරල උදාහරණයක්. කැබිනට් එක මේක කියවල අනුමත කළා. මේකෙ පිරිවෙන් අධ්‍යාපනය ගැන වචනයක්වත් නෑ. පිරිවෙන් තියෙනව අටසිය ගාණක්ද කොහෙද, ශිෂ්‍යයො ඉන්නව හැටදාහක් විතර හාමුදුරුවරුයි ගිහි ශිෂ්‍යයොයි. මේකෙ වචනයක්වත් නෑ. හිතන්නකො ඇයි කියල. අතපසුවීමක්ද? නෑ. තවම පිරිවෙන් අධ්‍යාපනය අපට විකුණ්න්න බෑනෙ. හේලීස්ලට ඇවිල්ල පිරිවෙන් අධ්‍යාපනයෙන් සල්ලි ගන්න බෑනෙ. ඒ නිසා ඒක අදාළ නෑ අපිට. මොකද මෙතන අදාළ වෙන්නෙ සල්ලි ටිකක් හම්බ කරගන්න එක විතරයි. හිතන්නකො. හැම දෙයක්ම ඒ වගේ. මේකෙ මූලධර්මයක් විදියට දාල තියෙන්නෙ ජාත්‍යන්තර ශිෂ්‍යයො මෙහෙ ගේන්න. නැතුව මෙහේ ශිෂ්‍යයන්ට එකක් නෙවෙයි. හබ් එකක් නැත්නම් කේන්ද්‍රස්ථානයක් හැටියට පිටින් අය මෙහාට ගේන්න.
ඊළඟට, මේකෙ බජට් එකක්වත් නෑ. අයවැය නෑ. නිකං කෙරෙනව. ඒකෙ තියනව ජාතික පාසැල් අහෝසි කිරීම. සිංහලෙන් කියන්නෙ ජාතික පාසැල් සංකල්පය නැති කිරීම. ඉංග්‍රිසියෙන් තියෙන්නෙ ජාතික පාසල් නැති කිරීම. අපි අමාත්‍යාංශයෙන් ඇහුවම ඒගොල්ල කියනව, ඔය ප්‍රධාන ජාතික පාසල් 50ක් විතර අපිට අල්ලන්න බෑ, අනිත් ටික අපි අයින් කරමු. අපි කලින් කිව්ව වගේ අර වරප්‍රසාද හුඟ දෙනෙකුට තිබ්බ නම් ඒක වරප්‍රසාදයක්ද? වාසියක්ද? ඒක අසාධාරණ වෙන්න තමයි ඒකෙ වාසිය වෙන්නෙ. ඒ නිසා ජාතික පාසල් තුන්සිය හැත්තෑ ගානක්ද කොහෙද තියෙනවා, එකෙන් වැරදිලා ජාතික පාසල් වෙච්ච ඒව අයින් කරලා, අපේ හොඳම ඒව 50ක් විතර තියාගත්තොත් ඔන්න හරි. එතකොට සම්පත් තව දාන්න පුළුවන් ඒවට.
මේ ලංකාව තමයි, ලෝකෙම දෙවෙනි ස්ථානයට එන්නෙ අධ්‍යාපන වියදම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට- සමාවෙන්න, යටින් දෙවැනි තැන. ඒ කියන්නෙ අපිට වඩා අඩුවෙන් තියෙන්නෙ එක රටයි ලෝකෙ. හොඳ උදාහරණයක් තේරුම්ගන්නකො. ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය අපට වඩා වැඩියි. ඒ වැඩි වෙන්නෙ ඇෆ්ගනිස්ථානය විශ්වාස කරනවා, ඒගොල්ලන්ගෙ ජනගහනයෙන් සියයට පනහකට අධ්‍යාපනය ඕන නෑ කියල. කාන්තාවක්ට උගන්නන්නෙ නැති තැනක අපිට වඩා ඒගොල්ල වියදම් කරනවා. ලැජ්ජාසහග තත්ත්වයක්නෙ නේ?
ඊළඟට ප්‍රධාන ප්‍රශ්න එකකටවත් මූණදීල නෑ. එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔය ජාත්‍යන්තර පාසල්. ජාත්‍යන්තර පාසල් තුන්සිය අනූවක් විතර තියනව ඒවයින් 7ක් ආයෝජන මණ්ඩලේ යටතෙ තියෙන්නෙ, අනිත් ඒව කම්පනි ඇක්ට් එක යටතෙ. ඒ කියන්නෙ ඒව බිස්නස්. ඒවට ගුරුවරු ඉන්නවද අධ්‍යාපන අමාත්‍යාංශයෙ සිලබස් කරනවද ඒව මේව නෙවෙයි ඒගොල්ලන්ට ගණකාධිකාරී කෙනෙක් ඕන අයවැය ලේඛනයක් තමයි අවශ්‍ය. අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක එක ගනුදෙනුවක් වත් නෑ. ඒත් මේකෙත් නෑ, දැනට තියන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් නෑ, කිසිම දෙයක්. දැන් ඉතින් අපිට පොඩි පොඩි කලබලයක් එනවා එක ජාත්‍යන්තර පාසලක ඛේදවාචකයක් වෙලා ළමයි තුන්දෙනෙක්ගෙ. එක ගැන ඒගොල්ලො බලනව. හැබැයි ඒත් නියාමනයක් නෑ. නීති රීති නෑ. අධ්‍යාපන ආයතනයක් නම් කොහොමද ඒක වෙළෙඳ ආයතනයක් හැටියට ලියාපදිංචි වෙන්නෙ? මම කියන්නෙ හෘද සාක්ෂියට අනුව, එන්පීපියද යූඇන්පියද ඒ මොකක් වුණත් මේක අංක එක වෙන්න එපැයි. නෑ, මොකද මේක වරප්‍රසාද සහිත සීමිත කොටස්වලට අර අපි දන්නව තුන්සිය අනූ ගාණෙන් තුන්සිය හැත්ත ගාණක් විතර ඇති ඔය ඊනියා ඒවා, හද්ද පිටිසර ඉංග්‍රිසි උගන්නනවයි කියල පොඩි කාමරේක මොකක් හරි කරන. ඒගොල්ල දන්නව ඒගොල්ලන්ගෙ දරුවො යවන තිහ හතළිහ ඒව ඉස්තරම්. ඒව විශිෂ්ටයි. ඒව දෙන්නෙ බාහිර උපාධි, ……. කියයි, ලන්ඩන් ඒඑල් කියයි එඩෙක්සෙල් කියයි ඒව නියාමනය කළොත් අවුලක්නෙ. මොකද ඒගොල්ල දෙන පඩි කොහොමද මිනිස්සු කොහොමද ඒවයෙ වැඩ කරන්නෙ, කවුද ඒවට එන්නෙ, ඒව ඔක්කොම එකයි. මොකද මොන පක්ෂෙන් ආවත් දරුවො යන්නෙ ඒවට. ඉතින් ඒ නිසා මේකෙත් නෑ වෙන ඒ කිසිම තැනකත් නෑ. ඊට පස්සෙ උපකාරක පන්ති පිළිබඳ කිසිම දෙයක් නැහැ මේවයෙ. ඒ ප්‍රධාන ප්‍රශ්න අල්ලන්නෙ නෑ. බලන්නෙ අපිට කොහොමද සල්ලි ටිකක් මේකෙන් හම්බ කරන්න පුළුවන් කියල. අපේ දරුවන්ට කොහොමද වරප්‍රසාද ලබා දෙන්නෙ කියල.
ඊළඟට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය දන්නවා මේකෙ මහ විශාල විෂමතා තියනවා. ඒව ගැන මොනවත් නෑ. ඕගොල්ල දන්නවද දන්නෑ මේ විෂමතා තියෙන්නෙ කොළඹයි මුලතිව්යි වැලිඔයයි අතර නෙවෙයි. කොළඹ කලාපයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍යපෙළ දත්ත අනුව ලංකාවෙ පළමු පාසලයි, අන්තිමටම ඉන්න පාසලයි තියෙන්නෙ මේ කිලෝමීටර් 14ක පරිසරයක් ඇතුළෙ. නම් වුණත් කියන්න පුළුවන්. හිතන්නකො, ඒ ලැජ්ජාව අපට තියෙන්නෙ. අල්ලපු ගෙවල් දෙක වෙන්න පුළුවන්. ඒක දුප්පත් පොහොසත්කම පිළිබඳ ප්‍රශ්නයක්. එකම අධ්‍යාපන කලාපයේ- කොළඹ 3624 වන ඉස්කෝලයයි, අංක 01 වන ඉස්කෝලයයි තියනව. ඒවට නෙවෙයිද අපි උත්තර හොයන්න ඕන. ඒව නෙවෙයිද මූලික අවශ්‍යතා? බිස්නස් කරන එකද? එතකොට ඒගොල්ල කියනව මේකෙ දරුවො ඉන්නව ඒගොල්ලන්ට වෛද්‍ය උපාධිය ගන්න යුක්රේනෙ හරි කොහාට හරි යන්න වෙනව. එතකොට විදේශ විනිමය වැය වෙනව.. විදේශ විනිමය ආරක්ෂා කරන්න.. ඒ දශම 001ට තමයි මේ ඔක්කොම කරන්නේ. ඒගොල්ලන්ගෙ දරුවන්ට. ඉතින් මේකට ප්‍රතිපත්තියක් අවශ්‍යයි නායකත්වය දෙන්න ඕන මේ අධ්‍යාපන සංවර්ධන සන්ධානය වගේ අය, හඬ නගන්න අවශ්‍යයි. දැන් මමත් මාස ගාණක් තිස්සෙ කතා කළා. අපි මේක පාර්ලිමේන්තුවෙ පොඩ්ඩක් පරක්කු කළා, හැබැයි දැන් ඒක ඉවරයි. දැන් ඊළඟ ප්‍රශ්නෙ- වෙන එකක් එනවා. මම හිතන්නෙ නිරන්තර අරගල කරන්න ඕන, නැත්නම් මේක අමතක වෙනවා. හිතන්නකො, තව තත්පර දෙකෙන් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා. දැනුත් ඒ අනතුර තියනවා. නිදහස් අධ්‍යාපනය ගැන මේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබ්බට ඒක දැඩි ලෙස කියන්නෙ නෑ.
මහ විසාල ප්‍රශ්න ගොඩක් තියනවා, මම දැන් කියන්නම් මේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රතිපත්ති හතර. මම හිතන්නෙ ඒක හොඳයි අපේ සාකච්ඡාවට. මොකද දැන් මේක පාර්ලිමේන්තුගත වෙලා තියෙන්නෙ.
- එක තමයි නිදහස් අධ්‍යාපනය මූලික මූලධර්මයක් වන අතර ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව එය අභියෝගයට ලක් නොකළ යුතුය. මේකෙ නැති හින්ද තමයි මෙහෙම කියන්නෙ. නිදහස් අධ්‍යාපනයට අත තියන්න එපා කියල.
- අධ්‍යාපනය මූලික අයිතිවාසිකම් වන අතර එය සියලු ප්‍රතිසංස්කරණවලින් තහවුරු කර ආරක්ෂා කළ යුතුය. මේව පාර්ලිමේන්තුවෙන් එන්නෙ. හැබැයි ඉතින් අර බලය නැති අය. ඒගොල්ල බලයට ආවොත් සමහර විට මේව අයින් කරයි. ඒත් හිතන්නකො, මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නේ.
- සමානාත්මතාව හා සමාජ සාධාරණත්වය සියල්ල ආවරණය කරන ධර්මතාව හා සම්මතය වනු ඇති අතර, එය ජන විකාශ හා දෘෂ්ටිවාදාත්මක සාධක නොසලකා සම්පත් වෙන් කිරීම හා සියලුම සිසුන්ට සමාන ප්‍රවේශ හා අවස්ථාවන් සහතික කිරීම ඇතුළුව ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හා සියලු ප්‍රතිසංස්කරණ යන දෙකම පාලනය කළ යුතුය. කොයි තරම් හොඳද? ඒ කියන්නෙ, මේගොල්ල කියනවා සියලුම පාසල්වල ඉංග්‍රිසියෙන් ඉගෙනගන්න පුළුවන් කියලා. ඇහුවම කියනවා, නෑ අපට 1000ක් විතරයි ඕන. අනින් නවදාහ ඉතින් ඒගොල්ලො මකබෑවෙච්චදෙන්. අපේ දරුවො නෙවෙයිනෙ. වරප්‍රසාදයක් වරප්‍රසාදයක් වෙන්න නම්, ඒක අනිත් අයට නොදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය හැමෝටම දුන්න හින්දනෙ මේ ප්‍රශ්නෙ. ගම්වලින් කට්ටිය එනව, දුප්පත් අය එනව, දොස්තර වෙනව, ඉංජිනෝරුවො වෙනව, ඒක හරි නැහැනෙ. අපේ උන් ටික විතරයිනෙ එන්න ඕන. දැන් නීති විද්‍යාලෙ ඒක කළා. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය, නීතිඥයන්ගෙ දරුවන්ට පහසු වෙන විදියට හැදුවා. අපි දන්නෙ නෑ, අපි ඔහේ ඉන්නවා. දොස්තරලත් එහෙම කළා. ඉතින් බලන්න මේක කොච්චර වැදගත්ද, සමානාත්මතාව හා සමාජ සාධාරණත්වය ඉලක්ක වෙන්න ඕන.
- හතරවෙනි එක ඉතාම රැඩිකල් වෙන කොහෙවත් දැකල නෑ ඒක. ඒක මොකක්ද, ‘‘ අධ්‍යාපනය පලදායී වන්නේ, සිසුන්ට, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ඇත්නම් පමණි. ඕනෑම විභව ප්‍රතිසංස්කරණයක් සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස පාසල් පෝෂණය හා සෞඛ්‍ය ආරක්ෂණය ඇතුළු සමාජ ආරක්ෂණ දැල් සියල්ලම වෙනුවෙන් සහතික විය යුතුය.‘‘
නිදහස් අධ්‍යාපනය කතා කරන්න බෑ කෑම නැත්නම්. ගෙවල් දොරවල් නැත්නම්, සෞඛ්‍ය පහසුකම් නැත්නම්. බලන්න කොයිතරම් දූරදර්ශීද මේක? මම හිතන්නෙ මේක අපි පාවිච්චි කරන්න ඕන. දැන් බලන්න නිදහස් අධ්‍යාපනය අපි කතා කරනවා, ඒත් දැන් පාසල්වල කෑම දෙන එක නතරවෙලා. ඇයි? ඒක මුදලාලිලාට දීල, මුදලාලිලා සල්ලි ටික අරගෙන, දැන් සල්ල නෑ කියනව. අපි දන්නවා පාසල් කමිටුවල පුළුවන් ඕක හොඳට කරන්න, නමුත් දෙන්නෙ නෑ. ඇයි? හැම එකේම පදනම බිස්නස් එකනේ. සල්ලි හම්බ කරන එක.
ඉතින් මේ ප්‍රතිපත්ති හතර අපි පිළිගත්ත නම් මේවයින් (ප්‍රතිසංස්කරණ යෝජනාවලින්) සීයට හැත්තෑපහක් අයින් වෙනවා.
ඉතින් තව එක විහිළු කතාවක් විතරක් කියල මම නවත්වන්නම්.
මේකෙ මානසිකත්වය කොයිතරම්ද කිව්වොත්, යූජීසී එක ඒගොල්ලො නම් කරනවා, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හැටියට, ඒකෙ කාර්යයන් තුනයි තියෙන්නෙ. එකක් තමයි විදේශ ශිෂ්‍යයන්ට වීසා සපයා දීම. ඒක දේශීය වීසා ඔෆිස් එකක් බවට පත් කරලා. දෙක, විදේශ ශිෂ්‍යයො මෙහෙ ආවම, උපාධි ලැබුණට පස්සෙ ඒගොල්ලන්ට මෙහේ රැකියා සපයා දීම. අපේ ශිෂ්‍යයො දහස් ගාණක් ඉන්නව රැකියා නැතිව, මේක ලැජ්ජා නැතිව තියනවනෙ මේකෙ. ඕන්නම් මම කියවන්නම් ඒක. මොකද මේකෙ විකාරරූපීභාවය කොයිතරම්ද කිව්වොත් මේව මෙහෙම තියෙනව කියල මිනිස්සු පිළිගන්නෙ නෑ. මම මෙතනින් නතර කරන්නම්, කනගාටුව වෙන්නේ, ජනාධිපතිවරණයට පෙර ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් මේවයෙ සඳහනක් නෑ. මේක කැබිනට් ඇපෘෘ වෙච්ච එකක්. ඒගොල්ලන්ට ඇත්තවශයෙන්ම පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න. කැබිනට් එකේ ඇපෘෘ කරපු කෙනෙකුත් නෑ, වාර්තාව ලියපු කෙනෙකුත් නෑ, අපි දන්නව ලියපු එක්කෙනා. හැබැයි එයා ඒ කමිටුවෙ වත් නෑ. හැබැයි එයා කියනව මම ලිව්ව කියල. ඒ කියල එයා ඒක අධීක්ෂණය කරන කමිටුවෙත් ඉන්නව. ඉතින් මම හිතනව අපි ප්‍රශ්න නොකරන්නෙ මේක, මේක අර ඉහළම ප්‍රතිපත්තිය මොකක්ද මේ ආණ්ඩුවල, ධනේෂ්වරය වර්ධනය කිරීම. සීමිත සම්පත් ටික අසීමිත විදියට වරප්‍රසාදිත කට්ටියට ලබාදීම. ඒව දැන් මූලධර්ම වෙලා. නිදහස් අධ්‍යාපනය නෙවෙයි මූලධර්මය. බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියන එක. එන්පීපී එකෙත් තියෙනව ඔය වෙළෙඳපොළ ගැන. අධ්‍යාපනයයි වෙළෙඳපොළයි මොකක්ද තියෙන සම්බන්ධය?
ප්‍රශ්නය- (සමසමාජය කර්තෘ සමන් සී ලියනගේ)
මහාචාර්යතුමා කිව්ව කරුණු අනුව අපට හොඳටම පැහැදිලියි මේක ජනතා විරෝධී, මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු යෝජනාවලියක් බව. ඒත් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතු බව අපි කවුරුත් පිළිගන්නවා. ඔබතුමා අපිට පැහැදිලි කරන්න, කොහොමද නිවැරදි විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුත්තේ?
මහාචාර්ය අර්ජුන පරාක්‍රම- මම හිතන්නෙ ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. හවුල්කාර පාර්ශ්වයන්ගේ සාකච්ඡාවකින් තොර කිසිම දෙයක් කරන්න බෑ. ඒක පැහැදිලියි. ගුරුවරු, ශිෂ්‍යයො, දෙමව්පියො ඒ සියලු දෙනා. ඒවගේම විනිවිධභාවයකින් තොරව කරන්න බෑ. ඉහළින් එන නියෝග වගේ දේවල් බෑ. එකක් තමයි, මේ සාකච්ඡාව මුල ඉඳන් පටන්ගන්න ඕන, ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ පාර්ශ්වවල අදහස් ගොනු කරන්න ඕන විධිමත් විදියට. ඒක මත තමයි අපි ප්‍රතිසංස්කරණ කළ යුත්තේ. ඒ ප්‍රතිසංස්කරණ සිදු විය යුත්තේ එහි ප්‍රතිලාභය ලබන්නන්ගේ අවශ්‍යතාව මත. එතකොට අපි දන්නව මෙන්න මේ විසඳුම් නෙවෙයි එන්නෙ.
දෙක, අර මුලදි කිව්ව මූලික ප්‍රතිපත්ති- මම ඒ හතරට තව දෙකක් එකතු කළා, අධ්‍යාපන අයිතිවාසිකම උල්ලංඝනය කරන්න බෑ, මේක හැමෝටම සමානව ලැබෙන්න ඕන, දැනට පවතින තත්ත්වය තවත් ආර්ථික පීඩනයේ බලපෑමට පීඩිත ජනතාව ලක් කරන්න බැරි වෙන ආකාරයට තියෙන්න ඕන, ඊළඟට ශිෂ්‍යයන්ගෙ මූලික අයිතිවාසිකම් ලබාදෙන්න ඕන, ඔවුන්ගේ පවුල්වල මූලික අයිතිවාසිකම් ලබාදෙන්න ඕන, ඊළඟට අපි පෞද්ගලික අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ නෑ, හැබැයි අපි කියන්නේ, රජයේ සීමිත සම්පත්, මිනිස්සුන්ගෙ සොච්චම පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් දුන්න නම් ඒක වැරදියි. දැන් අපි දන්නව ලොකුවට පෞද්ගලික විශ්වවිද්‍යාල කියල කියනව ඒගොල්ලො කොයිතරම් රජය සූරාකාල තියෙනවද? අර ඉඩම් ටික විකුණුවනම් කීයක්ද? මේගොල්ලො සාධාරණ විදියට වෙළෙඳ ව්‍යාපාර කරන ඒව නෙවෙයි. අතිශය වරප්‍රසාද ලබාගෙන, බදු නිවාඩු ලබාගෙන නොයෙක් විදියෙ අසාධාරණ වරප්‍රසාද ලබාගෙන කරන ඒව. මේවයෙ ප්‍රමිතිත් නෑ. ඒකයි අපි කියන්නෙ. මම උදාහරණයක් කියන්නම්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලෙ. ඒකෙ පනතට අනුව සිවිල් අය බඳවගන්න බෑ. ඒත් බඳවගන්නව. අනික මේව පොඩි ඒවට නෙවෙයිනෙ. වෛද්‍ය උපාධියට බඳවගන්නව. සල්ලිවලට. ඉතින් එස් තුනක් තියෙන කෙනෙකුට යන්න පුළුවන්. ඉන්ටවිව් එකේදි කාගෙ කවුද කිව්වම සමහරවිට පාස් වෙයි. අපි නඩුවකුත් කිව්ව ශේෂ්ඨාධිකරණයේ. මට ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළා කියල සමහරවිට යන්න වෙයිද දන්නෙ නෑ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වුණේ මේක නීති විරෝධීයි, ඒත් මේක අවුරුදු ගාණක් තිස්සෙ කරපු හින්ද ප්‍රශ්නයක් නෑ කියන එක. මේ දරුවො ටික ඇමරිකාවට අරෙහෙ මෙහෙ ගියොත් අපේ විදේශ විනිමය වැය වෙනව වගේ කෙටි උත්තර තමයි මේවට එන්නෙ. ඉතින් මගේ උත්තරේ, මුලින්ම කිසිම කොන්දේසියක් නැතිව සාකච්ඡාවක් තියෙන්න ඕන. ගුරුවරුන්ගේ වෘත්තිය සමිති හා වෙනත් මට්ටම්වලින් හඬ නගන්න ඕන. අපිට තීරණ ගන්න බෑ. එන්පීපී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනව ගුරුවරුන්ගෙ පඩි ලංකාවෙ වෘත්තිකයන්ගෙ 10වැනි මට්ටමට එන්න ඕන කියල. කවුද තීන්දු කළේ? එන්පීපී එකද? ගුරුවරු නේද ඒක තීන්දු කරන්න ඕන, ඒක දහයද නවයද අටද කොහොමද පූර්ව නිගමන කරන්නෙ? ඒකෙ කර්තෘත්වය, කාරකත්වය දෙන්න ඕන ඒ කට්ටියට. මට උගන්වපු මහාචාර්යතුමා ඉතාම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් උගන්වනවා, තවත් නොයෙක් තැන්වල උගන්නනවා. එතුමාගෙ වයිෆ් ගුරුවරියක්. එයා හිනාවෙලා කියනවා හස්බන්ඩ්ට වඩා මම හම්බකරනව කියලා. ජ්‍යෙෂ්ඨ ගුරුවරයකුට ලැබෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට වඩා ඒ රටවල. මොකද ඒගොල්ල තේරුම්ගන්නව ඒකෙ වටිනාකම. ඉතින් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් වගේම ගුරුවරුන්ගෙ මූලික අයිතිවාසිකම් ඉෂ්ඨ වෙන්නෙ නැත්නම් ඒගොල්ලො උපකාරක පන්ති කරයි, වෙනත් දේවල් කරයි, කුඹුරක් වගා කරයි, මොකද ඒ ජීවත් වෙන්න. ඉතින්, ඉස්සෙල්ල පටන්ගන්න ඕන ඒ සාකච්ඡාවෙන්. ඊට පස්සෙ අර ප්‍රතිපත්තිවලට අනුව අපිට යම් සැලැස්මක්- අපිට ජාතික අධ්‍යාපන සැලැස්මක් ඕන. ජාතික අධ්‍යාපන කොමිසමක් තියෙනව, ඒකට එක එක විශ්‍රාමික අය පත් කරනවා ඔවුන් කියන දේවල් කවුරුවත් අහන්නෑ. ඒගොල්ලන්ගෙ නියෝජනයකුත් නෑ ඒකත් කාලෙත් නාස්තියක්. ඉතින් ඇත්තවශයෙන්ම මේක තමයි අපේ රටේ තිබ්බ වටිනාම දේ. මේ නිදහස් අධ්‍යාපනය. ඒකයි මේ නැති කරන්නෙ. අන්තිම පාන්තික අරගලයක් මේක. ඒකයි මම කියන්නෙ මේ සිද්ධවෙන්නෙ අධ්‍යාපනයට වඩා ඔබ්බට යන එකක්. පන්ති අරගලයක්. නිදහස් අධ්‍යාපනය නිසා, ඔය පහළ යැයි සම්මත නිර්ධන පන්තියේ අය යම් මට්ටමක නිදහස ලැබිලා ඒගොල්ලො සමාජයට පිවිසෙනවා. ඒගොල්ලො වෘත්තිකයො වෙනවා. ඒක නවත්තන්න හදන්නෙ.