දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස ඊයේ (30) රාජකාරී භාර ගැනීම සහ එම අවස්ථාවට සහභාගීවීම සඳහා දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 40ක පමණ පිරිසක් රජයේ බස් රථයකින් කොළඹ යාම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලේ සඳහන් වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවක දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්ථාන මාරුකර අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ භාරගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.
එමෙන් ම රාජකාරී වේලාව තුළ දී නිවාඩු ලබා නොගෙන සිය රාජකාරී පැහැර හරිමින් ඔහුගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වීමට සඳහා දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 40ක පමණ පිරිසක් කොළඹ යාම ද නීති විරෝධී බව එම ආයතනය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
එමෙන් ම මෙලෙස නීතියට පටහැනි ආකාරයෙන් කොළඹ යාම සඳහා ඔවුන් භාවිතා කර ඇත්තේ දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රජයේ බස් රථයකි. පොදු ජනතාව වෙනුනේ වෙන්කළ යුතු රාකාරී කාලය වැය කරමින් කොළඹ සංචාරය කිරීම සහ ඒ සඳහා රජයේ බස් රථයක් යොදා ගැනීම යන කරුණු දෙක ම ොදු දේපළ අයථා පරිහරණය කිරීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.
ට්‍රාන්ස්පේරන්සි ආයතනය මැතිවරණ කොමිෂම වෙත ලබාදුන් ලිඛිත පැමිණිල්‍ලේ දක්වා ඇත්තේ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතාගේ තනතුරේ වැඩ ආවරණය කිරීමට පත්කර ඇති වෛද්‍යවරියක් අද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ එහි ඉතිරිව සිටි සේවකයන් සුළු පිරිසක් ද සහභාගී කරවාගෙන පිරිත් දේශනයක් ද පවත්වා ඇති බවයි. තම ආගමික විශ්වාසන් වෙනුවෙන් රාජකාරී කාලය කැපකිරීම් ද පොදු දේපළ අයථා පරිහරණය කිරීමක් බව ට්‍රාන්ස්පේරන්සි ආයතනය පෙන්වා දී ඇත.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ගිය අප එහි ඉතිරිව සිටි නිලධාරිනියකගෙන් අනෙකුත් සේවක සේවිකාවන් පිළිබඳ විමසූ විට ඇය කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාරුවීමක් ලැබ කොළඹ ගිය බැවින් ඔහුට සුබ පැතීමේ උත්සවයට සහභාගී වීමට කණ්ඩායමක් කොළඹ ගිය බවයි. තවත් පිරිසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ උඩු මහළේ ඇති ශාලාවක පිරිත් පිංකමට සහභාගී වී සිටින බව ද ඇය කීවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයකු කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායමක් හිටපු පළාත් අධ්‍යක්ෂවරයාට සුබ පැතීමට කොළඹ ගියේ රජයේ උසස් නිලධාරීන්ට එසේ සුබ පැතීමට යාමේ සම්ප්‍රදායක් අනුව බවයි. නමුත් එය වරදක් බව තමන්ට දැන් තේරුම් ගොස් ඇති බවත්, මෙය ප්‍රචාරය වීමෙන් නිලධාරීන්ගේ රැකියාවලට ද ප්‍රශ්නයක් විය හැකි බැවින් මාධ්‍ය ප්‍රචාරයක් ලබා නොාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.