1.6 C
New York

ගාල්ලේ සංවර්ධන නිලධාරී මාරු කිරීම්, ට්‍රාන්ස්පේරන්සි පැමිණිල්ලෙන් නතර වෙයි

Published:

දකුණු පළාත් සභාවේ රජයේ පාසල්වලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් වෙනත් කාර්යාල සඳහා තාවකාලිකව අනුයුක්ත ලබා දීමට යැයි පවසමින් ඔවුන් විවිධ ස්ථාන වෙත මාරුකර යැවීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මධුශ්‍රීනි වාසනා මහත්මිය විසින් නිකුත් කළ ලිපියක් බල රහිත කරන්න යැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව මෙම නියෝගය කරන ලද්දේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ගාල්ල දිස්ත්‍රික්ක නිරීක්ෂකවරයා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි අංශයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සැළකිල්ලට ගනිමිනි.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විසින්, 2024-10-23 දිනැතිව නිකුත් කර ඇති ගා/කලාප/පා/16/සංනි/ පොදු අංක දරණ ලිපියේ සඳහන් වන්නේ දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ 2024-10-22 දිනැති ලිපියට අදාලව පාසල්වලට අනුයුක්තව සේවය කරනු ලබන සංවර්ධන නිලධාරීන් සේවා අවශ්‍යතා මත දකුණු පළාත් සභාව යටතේ පාලනය වන ආයතන වෙත තාකාලිකව අනුයුක්ත කර ඇති බවයි.
එ් අනුව එම නිලධාරීන් 2024-10-28 වැනි දින තාවකාලිකව අනුයුක්ත කර ඇතිසේවා ස්ථානයේ රාජකාරී භාරගැනීමට හැකිවන පිරිදි 2024-10-25 වැනි දින පාසල් රාජකාරීයෙන් නිදහස් කරන ලෙස ද දන්වා ඇත. අදාල දිනයේ දී නව සේවා ස්ථානයට ඔවුන් වාර්තා නොකළහොත් වැටුප් ගෙවීම නතර කරන බව ද එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
පාසල්වලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් මේ වනවිට ගුරු පත්වීම් සඳහා සුදුසුකම් ලබා එම පත්වීම් භාර ගැනීමට නියමිතව සිටියි. එවැනි නිලධාරීන් මහ මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබිය දී මෙලෙස මාරුකිරීම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ආයතනය මැතිවරණ කොමිෂම වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මෙම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත්‍රික් පැමිණිලි භාර ගැනීමේ ඒකකය කලාප අධ්‍යාපන අධයක්ෂිකාව වෙත දැනුම් දී තිබුණේ එම මාරුවීම් සහ අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසයි. ඒ අනුව තමන් විසින් යවන ලද ලිපිය අවලංගු කිරීමට කටයුතු කරන බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව ප්‍රකාශ කළාය.

Related articles

Recent articles

spot_img