මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් සඳහා අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බද්දෙගම කුම්මේ ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගය රුපියල් ලක්ෂ ගණනක් වැය කරමින් කාපට් අතුරා සංවර්ධනය කර තිබේ.
මෙම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති නමුත් මේ වනවිට එම මාර්ගයේ කිලෝ මීටරයක පමණ කොටසක් කාපට් අතුරා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
බද්දේගම මාර්ගය පුළුල් කර කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් කාලයකට පෙර ආරම්භ කරන ලද අතර එම මාර්ගය දෙපස ඉඩම් අත්පත් කරගෙන වන්දි ගෙවා අවසන් කර තිබිණි. කාපට් ඇතිරීමට පෙර මාර්ගය දෙපස කාණු පද්ධති සහ මාර්ගය හරහා ඇති බෝක්කු පද්ධති සකස් කළ යුතු නමුත් ඒවා මෙතෙක් සිදුකර තිබුණේ නැත. මේ අතර බද්දේගම කුම්මේ අසළ මාර්ගය අබලන්ව තිබිණි.. ඒ පිළිබඳ ජනතාව කොතරම් මැසිවිලි නැගුව ද මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී පවා කියා සිටියේ මාර්ගය පුළුල් කර කාපට් ඇතිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බැවින් අබලන් වූ කොටස පිළිසකර කිරීමට අමතර මුදලක් වැය කළ නොහැකි බවයි.
නමුත් අද (27) ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැළියක් සඳහා බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයට පැමිණීම නිමිත්තෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන ගණනක් වැය කරමින් අබලන් වූ මාර්ගය වැසී යන පරිදි කාපට් අතුරා ඇත්තේ එම වැයවන මුදල ගැන නොසිතමිනි.
මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමක දී කියා සිටියේ එම මාර්ග කොටස අබලන්ව තිබූ බැවින් වෙනත් තැනකට ගෙන ගිය කාපට් කොටසක් ඉතිරිව තිබී එම ස්ථානයේ අතුරා දැමූ බවයි.
එසේ වුව ද ට්‍රාන්ස්පේරන්සටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ ජනාධිපතිවරයා පැමිණෙන රැස්වීමකට පෙර දිනයේ මෙලෙස මාර්ගයක කාපට් ඇතිරීම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බවයි.