8.6 C
New York

මහ මැතිවරණය නීති විරෝධීයි ? ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Published:

පාර්ලිමේන්තු මැතිවරණ දිනය ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ‍‍ගොනුකර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු සහ “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවයි. 

එම පනත අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

ඒ අනුව නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වන දා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එසේ වුව ද පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනියැයි පෙත්සම්කරු පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් ජනතා පරමාධිපත්‍ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දී වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img