“මම කැමති නැහැ කොරෝනා වෛසරස් තත්වය හේතුවෙන් රජය පසුබෑමකට ලක් වෙනවාට. මටත් අවශ්‍ය රජය මේ තත්වය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කරනවා දකින්නයි. මේ හේතුව නිසාම තමයි මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කළේ අවම සති දෙකක කාලයක්වත් කොළඹ නගර සභා සීමාව හුදකලා කළ යුතුයි කියලා. ” යැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක කීවාය.
ඇය මේ බව කියා සිටියේ අද (19) නගර සභාවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි. එහි දී නගරාධිපතිනිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“මට ජනාධිපතිතුමන්ගේ අදහසත් තේරෙනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ අදහසත් තේරෙනවා. ජනතාවට රැකියා අමිහි වෙලා තියෙනවා, සුළු ව්‍යාපාර කඩා වැටිලා තියෙනවා,දෛනික වැටුපෙන් ජීවත් වන පිරිස් අසරණ වෙලා තියෙනවා,මේ අසරණ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියන සිතුවිල්ල මටත් තියෙනවා. මම දීර්ඝ කාලයක් කොළඹ නගර සභා සිමාව හුදකලා කරන්න කියන්නේ නැහැ. අවම සති දෙකක කාලයක් කොළඹ නගර සභා සීමාව හුදකලා කර දැඩි සංචරණ සීමා පනවලා මහජනතාවට ජීවත් වීමට නිසි ක්‍රමවේදක් සකසා අපි සැළසුමකට අනුව කටයුතු කලොත් මේ තත්වය අපිට සාර්ථක ලෙස පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.”
නගරාධිපතිනිය පවසන්නේ කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන පවුල් 70% ක් පමණ හුදකලා ප්‍රදේශ වල ජීවත් වන බවයි. ඔවුන් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින බවත්, රජයට බරක් නොවී නගරාධිපතිනිය ලෙස ඔවුන්ගෙගේ දුක සැප සොයා බැලීමත් ඔවුන් ආරක්ෂා කිරීම තම වගකීම බවත් ඇය පවසන්නීය.
අත සෝදන සබන්ත කැටයේ සිට මුහුණට පළඳින මුඛ ආවරණය පවා මිලදී ගත නොහැකි පිරිස් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන බවත් දරුවන් කිරි වීදුරුවක් ලබා දෙන්න, ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබා දෙන්න ඇති හැකි පිරිස් ඕන තරම් සිටින බැවින් එවැනි අයගේ උදවු උපකාර මේ අවස්ථාවේදී දුප්පත් අහිංසක ජනතාවට වැදගත් බවත් ඇය පෙන්වාදෙයි.
“මමත් නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනාත් එකතුව මුදල් කමිටුවේදී තීරණයක් ගත්තා කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් වටිනා වියළි ආහාර ලබා දීමට. ඊළඟ සතිය වන විට එම වියළි ආහාර ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනවා. එම වියලී ආහාර පාර්සල් පවුල් 100,000 ක් සඳහා ලබා දීමට පෞද්ගලික අංශයේ සහය අපේක්ෂා කරලා මම ලිඛිතව ඉල්ලීම් සිදු කරලා තියෙනවා. කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීමේ කටයුකු මළ නල පද්ධති සුද්ධ පවිත්‍ර කිරිම් කටයුතු අවදානම් තත්වය හමුවේදීත් අපගේ සේවකයන් අඛණ්ඩව සිදු කරනවා. කොළඹ නගර සභාවේ සේවය කරන කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිටින පවුල් සදහා වියළි ආහාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා වගේම කොළඹ නගර සභා සීමාව තුල ජීවත් වන ලක්ෂ 6 ½ ක් වූ සමස්ථ ජනතාවටම නොමිලේ මුඛ ආවරණ ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරනවා.”
“නගර සභා සීමාව තුළ ජීවත් වන කාන්තාවන් හට මුඛ ආවරණ මැසීම ස්වයං රැකියාවක් ලෙස සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මම මුලික වී කටයුතු කරනවා. පිළිකා, හෘදයාබාධ, වකුගඩු අක්‍රමිකතා වැනි නිදන්ගත රෝග වලින් පෙළෙන රෝගීන් හදිසි අවස්ථා වලදි රෝහල් ගත කිරීමට නගර සභාව වෙත ගිලන් රථ දෙකක් ලබා දෙන ලෙස රජයෙන් මා ඉල්ලීමක්ද සිදු කරනවා. මේ වන විට පවුල් සැලසුම් සංවිධානය මඟින් සෞඛ්‍ය උපකරණ කට්ටල 4,000 ක් ලබා දී ඇති අතර එය පෞද්ගලික අංශයේ සහය ඇතිව වැඩි කර ගැනිමට කටයුතු කරනවා.දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හුදකලා කර ඇති ප්‍රදේශ වල ජංගම වෛද්‍ය සායන මේ වන විට පවත්වන අතරන අතර, භාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන බෙහෙත් ශාලා 27 ම විවෘත කර ජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීමටත්, කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී සිටින රෝගීන් 21,000 ක් සඳහා නොමිලේ අවශ්‍ය බෙහෙත් නිවෙස් වෙතටම ලබා දීමට කටයුතු කරනවා. 17 වැනි දින කොරෝනා Antigen test එක ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කල අතර, 25 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන එහි පළමු ක්ෂේත්‍ර පරීක්ෂාවත් සිදු කරනු ලැබුවා. පවුල් 13,000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබා දිමටත්, සම්මන්ත්‍රණපුර පවුල් 2500 ක් සඳහා වියලි ආහාර මලු ලබා දීමටත් කටයුතු කලා.මේ වන විට මාගේ ඉල්ලීම් මත සහෝදර රට වලින් අපිට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඇතුළු ආධාර ලබා දිමට ඉදිරිපත් වෙලා තිබෙනවා.ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමට සහය ලබා දීම සඳහා කොළඹ මහ නගර සභාවේ සේවය කර විශ්‍රාම ගිය වෛද්‍යවරුන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන් සහ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෛනික වැටුපක් මත හෝ ස්වේච්චාවෙන් සේවයට බඳවා ගැනිමටත් කටයුතු කරනවා. අපි මේ තත්වය පිළිබඳව රජයට විතරක් බර පටවලා එක එක්කෙනාව විවේචනය කිරීම නෙවෙයි කල යුත්තේ.”
මේ අවස්ථාවේදී සියලු දේශපාලන මතවාද පසෙක තබා පාට පක්ෂ භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව කටයුතු කල යුතුබව ද නගරාධිපතිනි රෝසි සේනානායක පෙන්වාදෙයි.
“අපි ආරක්ෂා විය යුතුයි කියන මතය අපේ හිතේ නිර්මාණය කර ගන්න. අපේ ඉදිරියට හමු වන සෑම පුද්ගලයෙකුම කොරෝනා ආසාදිතයෙකු යැයි සිතා තමන් තමන්වම ආරක්ෂා කර ගන්න. අපි මෙලෙස කටයුතු කලහොත් කෙරෝනා වෛරස් තත්වය පාලනය කරලා රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමටත් අපගේ දායකත්වය ලබා දීමට හැකි වේවි” යැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.