spot_img
spot_imgspot_img

“රනිල්, මහ මැතිවරණයට නෑ. ඔහු ජාතියේ ආරක්ෂකයෙක්“ – වජිර කියයි

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ මහ මැතිවරණයට තරඟ නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන්නේ ද යන්න දැන්ම තීරණය කළ නොහැකි යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ පුළුල් සන්ධානයකින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බැවින් ඔහු මැතිවරණයේ අපේක්ෂකයකු නොවී එම සන්ධානයට නායකත්වය දීමට සූදානමින් සිටින බව ද වජිර අබේවර්ධන ඊයේ (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී කීවේය.

මහ මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කළයුතු යැයි පක්‍ෂයේ බහුතරය ඉල්ලා සිටින බවත් සන්ධානගත වන පිරිස සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිය හැකි බවත් ඔහු පවසයි.

එම සන්ධානය සඳහා විපක්‍ෂයේ සියලුම පිරිස්වලට ආරාධනා කර ඇති බවත්, ඒ පිළිබඳ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් සමගි ජන බලවේගය ඇතුළු විවිධ පක්‍ෂ සමග මෙම සාකච්ඡා පැවැත්වෙන බවද කීවේය. විපක්‍ෂයේ සියලුදෙනා එකමුතුව වැඩ කිරීම ජයග්‍රහණයට වාසියක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තමාට ඡන්දය දුන් සියලුම ජනතාවට ස්තූති කළ බවත් වත්මන් ජනාධිපති  අනුර කුමාර දිසානායකට අවශ්‍ය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි ද එහි දී සඳහන් කළේය. ඕනෑම ජනාධිපතිවරයකුට තම කටයුතු කරගෙන යෑම සඳහා යම් කාලසීමාවක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔහුට කාලය ලබාදීමට දේශපාලන පක්‍ෂ මෙන්ම සමස්ත ජනතාවම බලා සිටින බවත්, ඔහු එය ඉටු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් වජිර අබේවර්ධනගේ අදහස විය. .

වසර දෙකකට පෙර රටේ තිබූ අස්ථාවර තත්ත්වය දුරුකර මැතිවරණයක් පැවැත්වීමට හැකි තත්ත්වයක් රනිල් වික්‍රමසිංහ විසින් රටට ඇතිකර දීම ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කරගෙන ගිය වැඩසටහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ලෝකයේ ආධාර දෙන රටවල් අනුමත කළත්, රටේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට වඩා අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ වැඩපිළිවෙල සහ මතවාදය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා ඔහු ජනාධිපතිිවරයා ලෙස පත්කරගෙන ඇතැයි ද වජිර අබේවර්ධන කීවේය. නැවත රටේ පෝලිම් යුගයක් ඇති නොවන්න, නැවත අනෙකුත් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගැනීම අනුර කුමාර දිසානායකෙගේ වගකීම බවද හෙතෙම පැවසීය.

“ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයකට මුහුණදෙන ඕනෑම අවස්ථාවක තනතුරු ඇතත් නැතත් ඒ සඳහා පෙනී සිටින බව රනිල් වික්‍රමසිංහ‍ෙප්‍රකාශ කර තිබුණා. ඒ කියන්නේ ඔහු ජාතියේ ආරක්‍ෂකයකු ලෙස පෙනී සිටින බවයි. 2001 දී මේ රට ආර්ථික වශයෙන් කඩාවැටී විශාල බදු බර පැනවෙන අවස්ථාවකදී ද රනිල් වික්‍රමසිංහ රට භාරගෙන එය නිවැරදි කළා.“ යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!