spot_img
spot_imgspot_img

බෝම්බ භියෙන් ජීවත් වෙන මිනිස්සු

පුවත්

විදෙස්

ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි

ඔවුන්ට තමන් සතු ඉඩම්වල රිසිසේ ඇවිද යාමට හැකියාවක් නැත. නිවස පිටුපස කැලෑ රොදකට වැදී බෙහෙත් පැලෑටියක් හෝ දර ඉපළක් සොයා යාමට අවසරයක් නැත. වගා බබිමට ගිය ද පය තබන තබන තැන මාරයා සැඟවී ඇතැදැයි නිරන්තරය බියකින් පසුවන්නට ඔවුන්ට සිදුව තිබේ.

වර්ගවාදී යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් උතුරේ ගොවියන් මුහුණ දෙන  තත්වයයි ඒ.

කෘෂිකර්මාන්තයෙන් තම ජීවිකාව සරිකරගන්නා උතුරේ අති බහුතරයක් ජනතාවට තිස් වසරක යුද්ධයේ ශාපය තවමත් අත්විඳින්නටසිදුව තිබේ. යුද්ධය පැවැති කාලයෙ දී තැන තැන වළදමා ඇති බිම් බෝම්බ තවමත් සම්පූර්ණයෙන් ම ඉවත්කර නැත.

මේ හේතුවන නිසාම උතුරේ වැසියන්ට තමන්ගේ පාරම්පරික වගා බිම්, නිවාස තිබූ ඉඩම් පවා අහිමිව තිබේ. මේ බිම් ‍බෝම්බ ඔවුන්ට නිහඬ මාරයෙක් වී තිබේ.

යුද්ධය පැවති කාලයේ ප්‍රධාන ආරක්ෂක වළලු පැවති ප්‍රදේශ වල ඇතැම් ඉඩම් හිමියන්ට තවමත් තම ජන්ම භුමියේ පය ගැසීමේ වාසනාව හෝ උදාවී නොමැත. එසේ නම් මෙම ඉඩම් නිදහස් කිරීමට ඉවක් බවක් නොමැතිව වළ දමා ඇති බිම් බෝම්බ ඉවත්කර මෙම ප්‍රදේශ බිම්බෝම්බ රහිත කලාපයක් බවට පත් කල යුතුය.

ඒ අනුව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන දේශීය සහ විදේශීය සංවිධාන වලට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ උතුරේ මිලියනයකට අධික බිම්බෝම්බ වළදමා ඇති බවයි. සිවිල් යුද්ධයේ දී දේශසීමා ආරක්ෂා කිරීම සදහා මෙසේ බිම් බෝම්බ වළදමා පැවතීම හේතුවෙන් වවුනියාව, මන්නාරම , කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්කවල තවමත් සිවිල් වැසියන්ට අයත් ඉඩම් සැළකිය යුතු ප්‍රමාණයක් නිදහස් කර නොමැති වග දක්නට ලැබේ.

2009 සිවිල් යුද්ධය අවසන් වීමත් සමග සරණාගත කදවුරු වල සිටි වැසියන් යළි නැගිට තම ජිවිත නැවත මුල සිට ආරම්භ කිරීමට සිදු වුවත්, මෙම බිම්බෝම්බ නිසා ඔවුන්ට සිය ඉඩමට පය තැබීම පවා අහිමි වී අදට වසර 15 ට අධික කාලයකි.

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතවන ”හෙලෝ ට්‍රස්ට්” සංවිධානයට අනුව ඔවුන් 2002 වසරේ සිට උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින අතර ඔවුන් සඳහන් කරන්නේ කිසිදු වාර්තාවක් නොමැතිව උතුරේ වළදමා ඇති බිම්බෝම්බ ප්‍රමාණය මිලියන 1.6 ට අධික බවයි.

එමෙන්ම සුවිසේෂි ඉදිරි ආරක්ෂක වළල්ලක් බවට පත්වූ මුහමාලේ පිහිටි සිවිල් ජනතාවට අයත් ඉඩම් හා රජයට අයත් ඉඩම් අක්කර ගණනක්තුල යුද හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශවයෙන්ම බිම්බෝම්බ විශාල ප්‍රමාණයක් වළදමා ඇති බව එම සංවිධානය සදහන් කරයි.

”හලෝ ට්‍රස්ට්” සංවිධානයට අනුව මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල පිහිටි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා එම සංවිධානයට වසර 10 ක් ගතව ඇත. එහිදී එම සංවිධානය එම ඉදිරි ආරක්ෂක වළල්ල තුලින් පමණක් බිම්බෝම්බ 60,000 ක පමණ ප්‍රමාණයක් ගලවා ඉවත් කළබව එම සංවිධානය නිවේදනය කර සිටි.

උතුරේ ජනතාවට මෙම බිම්බෝම්බ විශාල ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය කෘෂි කර්මාන්තය වන බැවිනි. ඒ අනුව බිම්බෝම්බ වළ දමා ඇති තම ඉඩම තම ජීවනාලිය බදු වීම නිසා උතුරේ ජනතාවට මෙම ගැටලුව තදින්ම බලපෑ තිබේ. තවද උතරේ බහුතරයක් ගව පාලනේ නිරත වීම නිසා ඔවුන්ද මෙම තත්වයෙන් බැට කන පිරිසක් බවට පත්ව සිටි.

මෙරට ශූර ගොවින් සිටින උතරේ ගොවීන්ට යුද්ධයට කලින් සශ්‍රිකව පැවති තම ඉඩකඩම් දැන් මුඩුබිම් බවට පත්ව ඇති අයුරු බලා සිටීමට සිදුව ඇත්තේ ඉවක් බවක් නැතිව එම දම් තුල වපුරා ඇති බිම්බෝම්බ නිසාවෙනි.

උතරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත වන “මැග්” නමැති සංවිධානය මේ වන විට උතරේ වර්ග කිලෝමීටර් 52.5 පමණ බිම් බෝම්බ ඉවත් කර ඇති අතර එහිදී පුපුරන ද්‍රව්‍ය කොටස් 63,741 ක් ඉවත් කර ඇති බවත් පුපුරා නොගිය බෝම්බ 28,187 ක් ඉවත් කර ඇති බවත් එම සංවිධානය සදහන් කරයි.

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන ”ෂාප්” සංවිධානය පසුගිය වසර 08 ක කාලය තුල කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල බෝම්බ හා අන්තරාය පුපුරන ද්‍රවය කොටස් 39,134 ක් ආරක්ෂිතව ඉවත්කළ බව එම සංවිධානය සදහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන හා රාජ්‍ය සංවිධාන උතුරේ බිම් බෝම්බ ඉවත් කර එම ජනහාවට සිය ඉඩම් යලිත් බිම්බෝම්බ වලින් තොර කලාපයක් ලෙස ලබා දීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටි. ඒ අනුව එම කටයුතු වල නිරත සංවිධාන වල අපේක්ෂාව වී ඇත්තේ 2028 වසරේදී පමණ මෙරට බිම්බෝම්බ වලින් තොර කලාපයාක් බවට පත් කිරීමයි.

මෙසේ තම ඉඩම්වල වළලා ඇති බිම් බෝම්බ පිළිබද අදහස් දැක්වූ පි. අරසරත්නම් මහතා මෙසේ කියයි.

“මම අවුරුදු ගානකට පස්සේ තමයි මගේ මේ ඉන්න ඉඩමට ආවේ. අපේ තවත් ඉඩම් වල බෝම්බ කොටස් සමහර වෙලාවට අහු වෙනවා. අපි හරිම බයෙන් තමයි වගා කරන්නේ, ගොඩක් ප්‍රදේශ වල බිම්බෝම්බ අයින් කලත් තවත් අයින් කරන්න ගොඩක් තියනවා. ඒ නිසා අපේ කෘෂි ඉඩම් කොටසකට තවමත් අපිට පය ගහන්න බැරි වෙලා තියනාවා. ඒ ඉඩම් නිදහස් වෙලා අපි නිදහාසේ ගොවිතැනක් බතක් කරගෙන ඉන්න එක තරම් සතුටක් තවත් අපිට නැ. මේ බිම් බෝම්බ ගැටලුව නිසාම අපිට ඉඩම් ගොඩක් අහිමි වෙලා තියනාවා. අපි ඉල්ලන්නේ මේ ඉඩම් වලින් බිම්බෝම්බ ඉවත් කරලා අපේ ඉඩම් නිදහස් කරලා දෙන්න කියලා.”

මෙම ගැටලුවට සිංහල දෙමළ බේදයක් නැත ඒ අනුව මෙම ගැටලුව පිළිබද අදහස් දක්වන වවුනියාවේ එන්.ගුණසේන මහතා මෙසේ කීවේය.

“මගේ ගම මහකාච්චකොඩිය. ඒ කාලේ මායිම් ගමක් අපේ කුබුරු දශක ගණනක් යුද්දේ නිසා වගා කරන්න බැරි වුනා. ඒ මැදින් තමයි ඉදිරි ආරක්ෂක වළල්ල තිබුනේ. දැන් යුද්ධය නැහැ. නමුත් අපේ ඉඩම් වලින් තවත් බිම්බෝම්බ කොටස් මතු වෙනවා. ඒ අවදානම දරුණුයි. සමහර ඉඩම් තවත් කැලෑ වැහිලා. ඒවාට යන්න බැ. මේ විදියට ඉඩම්වල බිම්බෝම්බ අතුරලා තියන එක හරිම අනාරක්ෂිතයි. ඒ ප්‍රශ්නේ විසදෙනකම් අපේ ඉඩම් කොටසක් තවත් කාලයක් අපිට අහිමි වෙයි. මම ඉල්ලන්නේ උතුරේම තියන ඉඩම් වලින් බිම් බෝම්බ අයින් කරලා ආයෙත් ගොවීන්ට නිදහසේ වගා කරන්න පුළුවන් විදියට නිදහස් කරලා දෙන්න කියලා.”

උතුරේ අඟලින් අඟල වළදමා ඇති බිම්බෝම්බ ඉවත්වී එම ඉඩම් යලිත් උතුරේ ගොවීන්ට හිමිව ඒවා සශ්‍රික වගාබිම් බවට පත් වේවායි මෙරට සියලු දෙනාගේ ප්‍රාර්ථනාව බවට නොඅනුමාය. නමුත් ඊට තවත් කොපමණ කලක් ගතවේද යන්න නිශ්චිත නොමැත. පශ්චාත් යුද සමයේ මෙම ප්‍රදේශ වල ජනතාව මුහුණදී ඇති ඉඩම් ගැටලුවට මෙම බිම් බෝම්බ ගැටලුවද සිදු කර ඇත්තේ දැඩි බලපෑමකි.    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!