spot_img
spot_imgspot_img

තායි උමගේ සිරවූ විදෙස් කම්කරුවන් තිදෙනා මරුට

පුවත්

විදෙස්

තායිලන්තයේ පාක් චොන් දිස්ත්‍රික්කයේ කඩා වැටුණු දුම්රිය උමගක සිරවුණු විදේශීය කම්කරුවන් තිදෙනා මියගොස් ඇති බව තායි බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ දින පහක් පුරා මොවුන් බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද අවසානයේ සියළු ප්‍රයත්න අසාර්ථක වූ බවයි.

චීන කම්කරුවන් දෙදෙනකු සහ එක් මියන්මාර කම්කරුවෙකු මෙලෙස මියගොස් ඇත.

බැංකොක් අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 200ක් (සැතපුම් 124) පමණ දුරින් පිහිටි පාක් චොං දිස්ත්‍රික්කයේ ඉදිකරමින් සිටි උමඟේ කොටසක් කඩා වැටීමෙන් පසුගිය සෙනසුරාදා සිට මොවුහු සිරවී සිටියහ.

සිකුරාදා බලධාරීන් ප්‍රකාශ කළේ තිදෙනාම මියගොස් ඇති බවයි, මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ මෙය වාතය නොමැතිකම නිසා සිදු වූවක් බවයි.

තායිලන්ත-චීන අධිවේගී දුම්රිය ව්‍යාපෘතියේ කොටසක් වන ඉදිවෙමින් පවතින මෙම උමග පසුගිය සෙනසුරාදා එරට වේලාවෙන් 23:40 ට (GMT 16:40) නායයෑමක් හේතුවෙන් කඩා වැටී ඇත.

තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවයේ (SRT) නිලධාරීන් සහ චීන ආපදා ප්‍රතිචාර කණ්ඩායමකින් සමන්විත ගලවා ගන්නන්, විපතට පත් වූවන් ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතිය පුරා දිවා රෑ නොබලා වැඩ කරමින් සිටියහ.

ඔවුන් කම්කරුවන් ජීවත් කරවීම සඳහා උමග තුළට ඔක්සිජන් පොම්ප කිරීමට උත්සාහ කර ඇති නමුත් ඔවුන් භාවිතා කළ නල කිසිසේත් කම්කරුවන් වෙත ළඟා වූයේද යන්න පැහැදිලි නැත.

උමං කඩාවැටුණු ස්ථානයේ සිට මීටර් 25ක් පමණ දුරින් සිරුරු තුනම සොයාගත් බව නිලධාරීහු පවසති.

ප්‍රාදේශීය වාර්තා පවසන්නේ බදාදා දිනයේදී ගලවාගන්නන් සිරවී සිටි කම්කරුවන් ආසන්නයටම පැමිණි බවයි.

ස්කෑනර් යන්ත්‍ර සහ සුනඛයන් හෘද ස්පන්දන ඇතුළු වැදගත් සලකුණු ද හඳුනාගෙන තිබූ අතර, කම්කරුවන් තවමත් ජීවතුන් අතර සිටිය හැකි බවට බලාපොරොත්තුවක් ලැබී තිබිණ.

කෙසේ වෙතත්, පවතින නාය යෑම් හේතුවෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සෙමින් ඉදිරියට ගියේය. කඳු කඩා වැටීම නිසා උමග තුළට ගැඹුරට යාමට ගැලවුම්කරුවන් විසින් සාදන ලද සිදුරු අඛණ්ඩව අවහිර විය.

තායිලන්තයේ භාරකාර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Anutin Charnvirakul පැවසුවේ “ඉංජිනේරුකරණයේ සීමාව” මගින් ගැලවුම්කරුවන්ට බාධා ඇති වූ බවයි.

කැණීම නිසා උමගෙහි අනෙකුත් කොටස් කඩා වැටීමට ඉඩ නොතබන බවට වගබලා ගත යුතු බවත්, ගැලවුම්කරුවන්ට තම ආරක්ෂාව සඳහා මීටර් 3 (අඩි 9.8) උස ආධාරක ව්‍යුහයන් ගොඩනගා ගැනීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

“අපි උත්සාහ කළේ විපතට පත් වූවන්ගේ ජීවිත බේරා ගැනීමට පමණක් නොව, සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමටද අපට සිදු විය,” ඔහු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, උමග අවට ඉදිකිරීම් කටයුතු මේ වන විට අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!