spot_img
spot_imgspot_img

සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට පාසල් පද්ධතියේ කිසිම ක්‍රමවේදයක් නෑ, දැරියන්ට සෞඛ්‍ය ගැටලු රැසක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට කිසිම ක්‍රමවේදයක් නොමැති වීම සහ ජල පහසුකම් අවම වීම යොවුන් වියේ දැරියන්ගේ සෞඛ්‍ය පිරිහීම ඇතුළු තවත් ගැටලු ගනනාවකට දැඩි ලෙස බලපාන බව ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබේ. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවියන් කණ්ඩායමක් විසිනි.

ගාල්ල ලයිට් හවුස් හෝටලයේ දී පසුගියදා (14) පැවති, පාසල් වියේ දරුවන් සහ තරුණ තරුණියන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු පිළිබඳව රුහුණ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් සිදුකරන ලද පර්යේෂණ රැසක සොයාගැනීම් එළි දැක්වීමේ වැඩමුළුවක දී මෙම කරුණු අනාවරණය විය.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතාගේ මගපෙන්වීම මත මෙම පර්යේෂණය සිදුකර තිබිණි.

රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය, සම සෞඛ්‍ය විද්‍යා පීඨය සහ විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂක සිසු සිසුවියන් විසින් තරුණ ගැටලු පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ 10ක් මෙහිදී එළි දක්වනු ලැබීය.

නව යොවුන් වියේ ගැහැණු දරුවන්ගේ ඔසප් වීම සම්බන්ද සාධක, තරුණ දරුවන් ජංගම දුරකථන සහ පරිගණක ඇතුළු ඩිජිටල් තිර වලට ඇබ්බැහි වීම, තරුණ තරුණියන් සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර වලට ඇබ්බැහි වීම, පාසැල් සිසුවියන්ගේ හිසෙහි උකුණන් බෝවීම, පාසැල් දරුවන්ට සිදුවන ලිංගික හිංසන සහ දරුවන් ශාරීරික ව්‍යායාම වලට යොමුවීමේ ප්‍රවණතාවය ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් ඔස්සේ මෙම පර්යේෂණ සිදුකර තිබිණි.

ගැහැණු දරුවන්ගේ ඔසප් වීම ආශ්‍රිත සාධක සම්බන්දව සිදුකරන ලද පර්යේෂණයේදී තවදුරවත් හෙළිවී ඇත්තේ යොවුන් වියේ දැරියන් තුළ ඔසප් වීම සම්බන්ද දැනුම ඉතාම අවම මට්ටමක පවතින බවයි. ඔසප් සමයේදී ස්නානය නොකිරීම, වේදනා නාශක නොගෙන වේදනාව දරාගෙන සිටිය යුතුවීම ඇතුළු ඔසප් ක්‍රියාවලිය සම්බන්ද මිත්‍යා මත විශ්වාස කිරීම ද දැරියන් අතර බහුලව දක්නට ලැබුනු බවද මෙහිදී හෙළිවී තිබිණි. සනීපාරක්ෂක තුවා නිසිලෙස බැහැර කිරීම සම්බන්දව ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද ජල පහසුකම් සහ වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි ඇති කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙ‍රුණා. තවදුරටත් මෙම පර්යේෂකයන් ප්‍රකාශකර සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ගේ දැඩි අවධානය මෙම ගැටලු විසඳීම කෙරෙහි යොමුවිය යුතු බවයි.

ඩිජිටල් තිර වලට අධ්‍යාපනික නොවන කටයුතු සඳහා දිනකට පැය දෙකකට වඩා වැඩි කාලයක් දරුවන් නිරාවරණය වීම වර්ථමානයේ පාසැල් දරුවන් මුහුණ දෙන බරපතල සෞඛ්‍ය සමාජයීය ගැටලුවක් බව තවත් පර්යේෂණයක දී හෙළිවී තිබේ. මේ හේතුවෙන් දරුවන් මානසික ආබාධ, නිනිද ආහ්‍රිත ගැටලු, දෘෂ්ඨි ආබාධ සහ බෙල්ල ආශ්‍රිත මාංශපේෂී වේදනාව වැනි තත්ත්වයන්ට ලක්වන බවත් ඒ නිසා මේ දරුවන්ගේ අධ්‍යාපනිකකටයුතු වලට බාධා ඇති වන බවත්, ඔවුන් පවත්වන සමාජ සබඳතා වලට බාධා ඇතිවන බවත් මේ අධ්‍යයනයේදී තවදුරටත් හෙළිවී ඇත. මෙහිදී වැඩිදුරටත් අවධාරනය කෙරුණේ දෙමාපියන් මේ පිළිබඳව දැනුම්වත් වීම මගින් දරුවන් මෙම තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට පහසුවනු ඇති බවයි.

යුනිසෙෆ් ආයතනයේ ‍සහයෝගීත්වයෙන් පැවති ‍ මෙම වැසටහනට ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් ද දකුණු පළාත් නියොජ්‍ය ප්‍රධාන ලේකම් තුමා ඇතුළු පළාත් සෞඛ්‍ය බලධාරීන් ද  පවුල් සෞඛය සේවා කාර්යාංශයේ නිලධාරීන් ද රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!