spot_img
spot_imgspot_img

ගාල්ලේ ජනතාව, කබලෙන් ලිපට ඇද දැමූ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය

පුවත්

විදෙස්

කුඩා වැස්සකට පවා ගාල්ල නගරය ජලයෙන් යටවීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මොරගොඩ ඇළ ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක අසාර්ථක ව්‍යාපෘති අතරට එක්ව තිබේ.

ලෝක‍ බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 26.52ක් හෙවත් රුපියල් මිලියන 3,447ක් යොදා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුව ද මේ වනවිට එය අතහැර දමා ඇති බැවින් මොරගොඩ අවට පදිංචිකරුවන් ඇතුළු ගාල්ලේ ජනතාව වැසි දිනවල දී දැඩි අසීරුතාවකට පත්වෙති.

2014 මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ එවකට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ  උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතිය විසිනි. නමුත් මේ වනවිට එම අමාත්‍යාංශයේ විෂය පථය පවා වෙනස් වී ඇත.

මොරගොඩ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 201 මැයි මස 05 වැනි දා උත්සවාකාරයෙන්. එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2019 දෙසැම්බර් 31 වැනි දා යි. නමුත් ව්‍යාපෘතිය 2022 ජුනි 30 වැනි දා දක්වා දීර්ඝ කළ අතර 2022 දෙසැම්බර් 31 වැනි දා වනවිට මොරගොඩ ඇළ ව්‍යාපෘතිය වැඩ අවසන් නොකරම අතරමඟ නවතා දැමිණි.

ගාල්ලේ ජනතාව පවසන්නේ රුපියල් කෝටි ගණනක් වැය කර සිදුකළ මෙම ව්‍යාපෘතිය නිසා තමන් තවදුරටත් අමාරුවේ වැටුණු බවයි.

ගාල්ලේ දංගෙදර පදිංචි තිලක් සේනානායක මෙසේ පවසයි.

“අවුරුදු 30ක් තිස්සේ මම මේ ගැන හැමතැනටම ලිව්වා. දිසාපතිට, ජනාධිපතිට පවා ලිව්වා. නගර සභාවට අපි ගම්වැසියන් එකතුවෙලා කිව්වා. ඉල්ලීම් කළා. ඒත් කවදාවත් මේකට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නෑ. පැලැස්තර විසඳුම් දෙනවා. ඒවා අසාර්ථකයි. අනවසර ගොඩකිරීම් කරනවා. නගර සභාව ඒවා නවත්වන්නෙත් නැහැ. අපිට මේ ප්‍රදේශයේ ජීවත්වෙන්න බැරි තරමට දැන් ප්‍රශ්නය වැඩි වෙලා. පොඩි වැස්සකටත් වතුරෙන් යටවෙනවා. ගෙවල් ගිලා බහිනවා. බිත්ති ඉරිතලලා. මිනිස්සු පුදුම දුකක් විඳින්නේ.”

මොරගොඩ ඇළ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත වූ දුර මීටර 4,250ක. නමුත් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ මීටර 1,850ක් පමණි . ඒ අනුව සංවර්ධනය නොකර අතහැර දමා ඇති දුර මීටර 2,400කි.  

මොරගොඩ ඇළ ඉවුරේ එක් පසෙක බැමි බැඳ ඇවිදින මංතීරු සහ මාර්ගයක් පවා සකස් කර ඇති නමුත් එම මාර්ගය සංවර්ධනය කිරීම අතරමග නවතා දමා තිබේ. සංවර්ධනය කිරීමට සැළසුම් කර මුදල් ලබාදුන් මාර්ගය තාර හෝ කාපට් බිඳක් හෝ නොදමා අතහැර දැමීම ගැන බලධාරීන් කිසිවක් කියන්නේ නැත.

අනෙක් ඉවුර නිසි පරිදි සකස් කර නොමැති බැවින් එම ඉවුරේ තැන තැන වල් බිහි වී ගිලා බැස තිබේ.

ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සභික නිශාන්ති ප්‍රදීපිකා මෙසේ කීවාය.

“ඇළ ප්‍රතිසංස්කරණය කරලා භාගයට නවත්තපු නිසා මේ මිනිස්සු හිටියටත් වඩා අමාරුවේ වැටුණා. වෙන දා අඩියක් දෙකක් ආපු වතුර දැන් අඩි තුන හතරක් එනවා. ඒ විතරක් නෙවෙයි වතුර රැඳිලා තියෙන කාලය දැන් වැඩි වෙලා. මේ මිනිස්සු අපා දුක් විඳිනවා. මේ ගැන මම නගර සභාවේ දී ප්‍රශ්න කළා. අදටත් කිසිම පිළිතුරක් නැහැ.”

 ප්‍රධාන ඇළට එකතුවන අතුරු ඇළ මාර්ග සංවර්ධනය කර නොමැති අතර ඇතැම් තැන්වල බෝක්කු කිහිපයක් පමණක් ඉදිකර බේ. එලෙස ඉදිකළ බෝක්කු පවා අතුරු ඇළ මාර්ග ඔස්සේ පැමිණෙන ජලය ප්‍රධාන ඇළට එකතු කිරීමට තරම් ප්‍රමාණවත් නැත. මේ නිසා වැසි දිනවල දී ජලය සමඟ පා වී එන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කසළ එම බෝක්කුවල සිරවී තවත් ප්‍රශ්නයක් උද්ගත කර තිබේ.  

අමීනා අයිශිස් මෙසේ කීවාය.

“මගේ ළමයි දෙන්නෙක් හිටියා. එ ළමයි දෙන්නට විෂබී ඇතුළු වෙලා මැරුණා. මගේ පුතාටයි මහත්තයටයි දෙන්නටම මී උණ හැදුනා. වැස්ස දවස්වලට මේ හැමතැනම ඉන්න ළමයි ලෙඩ වෙනවා. මී උණ, ඩෙංගු හැදෙනවා. ඇළ මාර්ග ඔක්කොම ප්ලාස්ටික් බෝතල්වලින් පිරිලා. ඒවායේ වතුර පිරෙනවා. හැමතැනම ඩෙංගු. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇවිත් අපේ ගෙවල් පරීක්ෂා කරනවා. ඇළ මාර්ගය බලන්නෙවත් නෑ. එයාලා කියන්නේ ඇළේ මාළු ඉන්න නිසා ඩෙංගු හැදෙන්නේ නැතිළු. ඉතින් අපි කාට මේ අවනඩුව කියන්න ද ? අපි ඉල්ලන්නේ අඩුම ගණනේ මේ කාණු ටිකවත් පිරිසිදු කරලා අනවසර ඉදිකිරීම් අයින් කරලා වතුර බැහැලා යන්න සළස්වන්න කියලා.”

මොරගොඩ ඇළ ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලන ස්ථාන 08ක් හඳුනාගෙන ඒවා වැසි ජලය රඳවාගන්නා පොකුණු ලෙස සංවර්ධනය කිරීමට යෝජනා කර තිබුණි. එමෙන් ම ගංවතුර පාලනය සඳහා අපවහන පද්ධති 16ක් ඉදිකිරීමට ද මුදල් වෙන්කර තිබුණ ද මේ පොකුණු හෝ අපවහන පද්ධති හෝ ඉදිකර නැත. එයට නිදහසට කාරණයක් ලෙස නිලධාරීන් සඳහන් කරන්නේ ඉඩම් අත්පත් කරගැනීමේ ගැටලු ඇතිවීම නිසා එම ඉලක්ක සම්පූර්ණ කරගත නොහැකි වූ බවයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පෙර මොරගොඩ ඇළ දෙපස නිවාස ජලයෙන් යටවූයේ වැසි දිනවල දී පමණි. නමුත් දැන් වැසි පොදක් නොවැටෙන පායන දිනවල දී පවා නිවාස ජලයෙන් යටවන බවට ගැමියෝ චෝදනා කරති.

කුමුදු දේවිකා මෙසේ කීවාය

“වෙනදා වැස්ස දවසට විතරයි අපේ ගෙවල් යටවෙන්නේ. නමුත් ඇළ ව්‍යාපෘතිය නිසා දැන් ඇළ තියෙන්නේ අපේ ගෙවල් මට්ටමට වඩා ඉහළින්. ඒ නිසා කරිජ්ජ ගහනවා. හැමදාම අපිට වතුරේ ඉන්න වෙලා තියෙන්නේ. මුහුදේ වතුර ඉහළ යනකොට අපේ ගෙවල්වලට වතුර එනවා. මෙක හරිම කරදරයක් වෙලා තියෙන්නේ. ඇළ ව්‍යාපෘතියේ ඇතිවන ගැටලු ගැන අපි ගාල්ලේ තිබුණු ව්‍යාපෘති කාර්යාලයට ගිහින් අභියාචනා ඉදිරිපත් කළා. ඒකේ හිටපු නිලධාරීන් ඇවිත් ගෙවල් පරීක්ෂා කරලා බිත්ති පැළුණු තැන්වල ෆොටෝ එහෙමත් ගහගෙන ගියා. ඒත් කිසිම වැඩක් වුණේ නෑ. දැන් ව්‍යාපෘති කාර්යාලයත් වහල දාලා.”

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලෝක බැංකුව ද වාර්තාවක් සකස් කර තිබේ. එමෙන ම ජාතික විගණකාධිපති කාර්යාලය විගණන වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ. එම වාර්තා දෙකේ ම දැක්වෙන්නේ මොරගොඩ ඇළ ව්‍යාපෘතියේ අරමුණු සාර්ථක වී නැති බවයි.

හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා පවසන්නේ මෙවැනි කතාවකි.

“මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ තනිකරම දේශපාලන බලවතුන්ගේ වුවමනාවට. ඉස්සර මේ ප්‍රදේශයේ වතුර රැ‍ඳෙන තැන තිබුණා. ඒ වගෙම වතුර බැහැගෙන යන්න ඇළ මාර්ග, කාණු පද්ධති තිබුණා. පහත් වගුරු බිම් තිබුණා. නමුත් ඉහළම දේශපාලන බලවතුන් අල්ලගෙන පුළුවන් පුළුවන් අය මේ ඉඩම් ගොඩකරා. කිසිම කෙනෙක් මේ අනවසර ඉදිකිරීම්වලට විරුද්ධ වුණේ නැහැ. අද වැස්ස දවසට පළාතම යටවෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදීත් දේශපාලන හිතවතුන්ගේ අනවසර ඉදිකිරීම් කඩන්න වෙන නිසා ඉඩම් පවර ගන්න බෑ කියමින් ඇළ මාර්ග නිසි පරිදි සකස් කළේ නෑ. වතුර එකතුවෙන්න හදන්න යෝජනා කරපු පොකුණු හැදුවේ නෑ. දැන් මිනිස්සු වෙනදාට වඩා කිහිප ගුණයකින් ජලයෙන් පීඩා විඳිනවා. එහෙම වෙන්න බැහැනේ. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලත් ඒකේ අරමුණ ඉෂ්ටවෙලා නැත්නම් එතන දූෂණයක්, වංචාවක් තියෙනවා.”

අසාර්ථක වූ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකරන ලද විගණන වාර්තාවේ දැක්වෙන්නේ එම ව්‍යාපෘතියේ නිර්මාණය හා ඉදිකිරීම් සඳහා උපදේශකවරයාට ගෙවා තිබූ රුපියල් මිලියන 21.49ක මුදල පවා ඵලරහිත වියදමක් බවයි.

මේ පිළිබඳ විමසූ විට ගාල්ල මහ නගර සභාවේ කොමසාරිස් තුෂාරා රස්නායක මෙසේ කීවාය.

“මෙය නගර සභාවෙන් ක්‍රියාත්ක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. නමුත් නගරයේ ප්‍රශ්නය නිසා අපිට සෘජුව බලපානවා. ව්‍යාපෘතිය සැළසුම් කළ පරිදි ක්‍රියාත්මක නොවී අතරමඟ නැවතීම නිසා ජනතාව අසීරුතාවට පත්වෙලා තියෙන බව ඇත්ත. ප්‍රධාන ඇළ මාර්ගයට ජලය බැසයාමේ ගැටලු සහගත තත්වයක් තියෙවා. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණානම් මේ ගැටලුව යම්තාක් දුරකට නිරාකරණය වේවි කියා හිතනවා. ජලය එකතුකරලා ගබඩා කරගෙන ක්‍රමයෙන් මුහුදට යැවීමේ ක්‍රමයක් වඩාත් සාර්ථක වේවි කියලා අපි විශ්වාස කරනවා. මොරගොඩ ඇ‍ළ ව්‍යාපෘතියෙත් එම යෝජනාව තිබුණා. නමුත් අතරමග නැවතීම නිසා ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. නගර සභාවට අයත් ඇළ මාර්ග සහ කාණු පද්ධති අපි නිතර සුද්ද පවිත්‍ර කර මේ පීඩාව අවම කිරීමට කටයුතු කරනවා. අනවසර ඉදිකිරීම් සහ අනවසර ගොඩකිරීම් නිසා මේ ප්‍රශ්නය ගොඩක් උග්‍ර වෙලා තියෙන්නේ.”

මේ වනවිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අමාත්‍යාංශය පවා වෙනස් වී තිබේ. ව්‍යාපෘතිය කාර්යාලය ද වසා දමා ඇත. කෝටි ගණනක් මුදල් අවභාවිතා කළ ව්‍යාපෘතියකට දැන් කිසිම වග කිව යුතු අයෙක් නැත. කොන්ත්‍රාත්කරුවන්ට ලබා දුන් මුදලින් ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වූවා ද යන්න සොයා බැලීමට ද කෙනෙක් නැත.

රටක් ණය කර ජනතාව අමාරුවේ දැමූ තවත් අසාර්ථක ව්‍යාපෘතියක් බවට ගාල්ලේ ගංවතුර පාලන ව්‍යාපෘතිය පත්ව තිබේ.

ජනතාවට වග නොකියන පාලකයන් සහ නිලධාරී පැලැන්තිය දැයේ දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන බවට මොරගොඩ ඇළ ව්‍යාපෘතිය හොඳම සාක්ෂියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!