-2.5 C
New York

ගුරුවරුන්ට සිංදු කියන්න, පාසල වේලාසනින් වසා දමයි

Published:

පාලටුව ගුණරතන විද්‍යාලයේ ගුරුවරුන්ට සිත නිවන ගීත ගැයීම සඳහා හෙට (02) දිනයේ උදෑසන 10.30න් පසු පාසල වසා දමන බව වාර්තා වේ.

ඉදිරි ඇසළ පොහොය නිමිත්තෙන් පවත්වන බැති ගී වැඩසටහනක් සඳහා ගුරුවරු පුහුණු කිරීමේ අරමුණෙන් මෙලෙස හෙට දිනයේ “සිත නිවන ගී“ ගැයීමට නියමිතය.

ඒ සඳහා පාසලේ ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය පමණක් සහභාගී වෙයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප එම පාසලේ විදුහල්පතිවරයාට ඇමතුමක් දුන් අවස්ථාවේ දී ඔහු කියා සිටියේ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා අදාළ වැඩසටහන පවත්වන බවයි. රූපවාහිනී නාලිකාවල විකාශය වන සිත නිවන ගී තෝරාගෙන ඒවා ගැයීමේ වැඩසටහනක් පවත්වන බවත් ඒ හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු හෙට 10.30ට අවසන් කරන බවත් හෙතෙම කියා සිටියේය.

මෙය ඉදිරියේ දී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පාසලට ගෙන්වා පවත්වන වැඩසටහනක පෙරහුරුවක් ද යන්න විමසූ විට විදුහල්පතිවරයා කියා සිටියේ ඇසළ බැති ගී වැඩසටහනක් පැවැත්වෙන නමුත් ආණ්ඩුකාරවරයා පැමිණීමේ සූදානමක් නොමැති බවයි.

මේ සම්න්ධයෙන් අප අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ ගුරුවරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමට උපදෙස් දී ඇතත් ඒවා නිවාඩු දිනවල සහ සවස් වරුවේ පැවැත්විය යුතු බවයි. ළමුන් ගෙදර යවා අධ්‍යයන කාලය තුළ ගුරුවරුන්ට ධාරිතා සංවර්ධනය කිරීමට අවසරයක් නැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related articles

Recent articles

spot_img