රතු පස්වල දී ජනතාව විසින් එල්ල කළ ප්‍රහාරය මාරාන්තික බවත්, එම උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩත්වයට පත්වූවාට පසු වෙඩි තැබීම සිදුව ඇති බවත්, පැමිණිල්ලේ සාක්ෂි පරස්පර බැවින් 2013 වර්ෂයේ දී රතුපස්වල පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසකට වෙඩි තැබීමෙන් පාසල් ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයාමේ සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ඒකමතිකව තීරණය කළේය.
මෙම නඩුව වසර 11කට ආසන්න කාලයක් විභාග කෙරිණි.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්, එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේදී 2013 අගෝස්තු 01 වනදා විරෝධතාවක නිරත විය.
පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදුකරන ලද විරෝධතාව විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩිතැබීම් සිදුකළ අතර එහිදී පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පනහකට වැඩි පිරිසක් තුවාල ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරින් වූ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, කෝප්‍රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.
ඒ, මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම ඇතුළු අධි චෝදනා 94ක් යටතේය.
පිටු 242කින් සමන්විත සම්පූර්ණ නඩු තීන්දුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයට පත්කළේ, මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, සහන් මාපා බණ්ඩාර සහ රෂ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙසිනි.
ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නිමල් රණවීර මහතා තීන්දුව ප්‍රකාශ කළේය.
” 2013 අගෝස්තු මස 01 වැනිදා සිදුවූ මෙම විරෝධතාවයට විරෝධතාකරුවන් 3000ක පමණ සහභාගිවෙලා, එය විසුරුවා හරින්න හමුදා සාමාජිකයන් 289ක් සම්බන්ධ වී ඇති බවට සාක්ෂි මගින් අනාවරණ වුණා. නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 65 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර සිද්ධිමය කරුණුවල ඇති සංකීර්ණභාවය නිසාම අප විත්තිවාචික කැඳවීමටද පියවර ගත්තා.”
මෙහිදී විනිසුරුවරයා සාක්ෂි විෂ්ලේණය කරමින් කියා සිටියේ අදාළ විරෝධතාව විසුරුවා හැරීමට යුද්ධ හමුදාව කැඳවීම නිත්‍යානුකූල දැයි විනිසුරු මඩුල්ල පළමුව අවධානය යොමු කළ බවයි.
” මෙම සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, ගම්පහ පරිපාලන කලාපය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර මහජන ආරක්ෂාව සඳහා කර්මාන්ත ශාලා භූමියේ හමුදාව යොදවා තිබෙනවා. ඒ, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කළ ඉල්ලීමකට අනුව. ඒ අනුව යුද්ධ හමුදාවේ බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුමිත් මානවඩුව විසින් තමයි නඩුවේ පළමු විත්තිකරුවන එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ අරුණ දේශප්‍රිය ගුණතිලක එම ස්ථානයට යවලා තියෙන්නේ. එබැවින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන චෝදනාව වන යුද්ධ හමුදා සාමාජිකයන් බලෙන් මෙම ස්ථානයට සම්බන්ධ වුණා කියන චෝදනාව පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කළ සාක්ෂි තුළින් ඛණ්ඩනය වෙනවා. “
මෙම විරෝධතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියාට ලබාදී ඇති භාෂණයේ නිදහස ඉක්මවා යාමක් බව විනිසුරුවරයා සාක්ෂි විශ්ලේෂණය කරමින් පෙන්වා දුන්නා.
” පැමිණිල්ල විසින්ම සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කළ වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සාක්ෂියේදි කියා සිටියා මුල් අවස්ථාවේ පළමු විත්තිකරු කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සිදුකර නීත්‍යානුකූලව විරෝධතාව විසිරුවා හැරීමට උත්සාහ කර තිබෙන බව. නමුත් පළමු විත්තිකරු විරෝධතාවයෙන් පසකට ගමන කරද්දි එක්වරම ගල්මුල් ප්‍රහාරයක් එල්ලවෙලා තියෙනවා. ඉන් පසුවයි වෙඩි තැබීමක් සිදුවී තිබෙන්නේ. විද්‍යාත්මක සාක්ෂි මගින්ද මෙම විරෝධතාවයේ ප්‍රචණ්ඩත්වය ඔප්පු වෙනවා. ඉන්ධන පිරහුම්හලක් ආසන්නයේ සහ බැංකු ආසන්නයෙන් පිළිස්සුන ටයර් හමුවී තිබෙනවා. වැලි හා ඉන්ධන පිරවූ බෝතල් උද්ඝෝෂකයින් භාවිතා කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වුණා. නමුත් පැමිණිල්ල ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැහැ. උද්ඝෝෂකයින්ගේ ක්‍රියාකලාපය ප්‍රචණ්ඩත්වයට පත්වුණාට පසුවයි වෙඩිතැබීම සිදුවෙලා තියෙන්නේ. ජනතාව එල්ල කර ඇති ප්‍රහාරය මාරාන්තිකයි. දැඩි බලයක් යොදා මර්දනය නොකළානම් හානිය විශාල වෙන්න තිබුණා. “
මියගිය තිදෙනාට, වෙඩි තබන ලද උණ්ඩ අධිකරණය ඉදිරියේ සිටින විත්තිකරුවන් භාවිතා කළ ගිනි අවි තුළින් නිකුත් වූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වෙලා තියෙනවා. “
” විරෝධතාවය විසිරුවා හැරීමට කැඳවා තිබු හමුදා සාමාජිකයන් ගණන 289ක් වුනත්, අධිකරණයට ඉදිරිපත් කළ T56 ගිනි අවි 98න් මෙම නඩුවේ විත්තිකරුවන් 03 දෙනා භාවිතා කළ ගිනිඅවි තුනෙන් පතුරම් 12ක් නිකුත්වෙලා තියෙනවා. නමුත් එම විත්තිකරුවන්ගේ ගිනිඅවි තුළින් නිකුත් වූ උණ්ඩවලින් මරණ සිදුවූ බවට රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වී නැහැ. තවත් T56 ගිනි අවි 07කින් උණ්ඩ 21 මුදාහැරලා තියෙනවා. නමුත් එම නිලධාරින් සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. එබැවින් එම ස්ථානයේ සිටී අනෙකුත් නිලධාරින්ට එරෙහිව විමර්ශන නොකර පැමිණිල්ල මෙම විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් පමණක් නඩුව පවත්වාගෙන යාම තුළ සැකයේ වාසිය විත්තියට යොමුවෙනවා. ඒ වගේම සාක්ෂි මගින් අනාවරණය වනවා විරෝධතාවය වූ ස්ථානයේ හමුදා ඇඳුමින් සැරසුන නිලධාරින්ට අමතරව කළු පැහැති ටී ෂර්ටයන්ගෙන් සැරසුන ගිනි අවි අතදැරූ පුද්ගලයින් සිටි බව. එබැවින් මෙම අපරාධයට අදාළව ඒ කුමන හෝ ගිනිඅවියකින් උණ්ඩ නිකුත්වීමක් සිදුව තිබෙන්න පුළුවන්.”
සාක්ෂි විෂ්ලේණයෙන් පසු විනිසුරුවරයා අවසන් තීන්දුවට අදාළව නිගමන ප්‍රකාශයට පත්කළේය.
” මේ පළවෙනි විත්තිකරු වෙඩි තැබීමට අණදුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වෙලා නැහැ. පැමිණිල්ලේ බොහෝ සාක්ෂි පරස්පරයි. සැකකටයුතු තත්ත්වයන් ගණනාවක් තිබෙන බැවින් චූදිතයන්ට එරෙහිව කිසිදු නෛතික පදනමක් යටතේ වරද පවරන්න බැහැ. මරණ තුනක් සිදුවීම අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නමුත් එවැනි අවාසනාත්මක සිදුවීමක් යටතේ වුවද, අධිකරණයට ක්‍රියා කළ හැක්කේ ඉදිරිපත් වූ සාක්ෂි මතයි. “
ඒ අනුව විත්තිකරුවන් නිදෝස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබිණි.