(සටහන සහ ඡායාරූප – සජීව විජේවීර)
ඈත ඉම දෙසින් වරින් වර නැගී එන වඳුරකුගේ චකුබුකුවත්, අහසට නැග ගොදුරක් සොයා සැරිසරන උකුස්සකුගේ තියුණු නාදයත්, හිටි හැටියේ සෙමෙන් ආරම්භ වී ක්‍රමයෙන් වඩාත් තීව්‍ර වී නැවත සෙමෙන් සෙමෙන් වියැකී යන රැහැයියන්ගේ නාදයත් හැර වෙනත් කිසිදු ශබ්දයක් ඇසෙන්නේ නැත.
එක් පසෙකින් තොප්පිගල මහා වනාන්තරය දිස්වන අතර තවත් පසෙකින් ඇත්තේ මඩකලපුව දෙසින් දිස්වන මහා සමුදුරේ නීල වර්ණයයි.
මේ අතීත දිගාමඩුල්ලේ ආශ්චර්යය හොඳින් අත්විඳිය හැකි රජගලතැන්න හෙවත් රාස්සහෙළ නමින් හැඳින්වෙන සුවිසල් කඳුවැටියේ නැගෙනහිර බැවුමේ පිහිටි කොඩිගල කන්ද මතට නැගුණු විට පෙනෙන චමත්කාරජනක දර්ශනයයි. මේ කඳුවැටිය අතීතයේ කිඹුල්ගල හෙවත් ගිරිකුම්භීල යන නමින්ද හඳුනවා තිබේ. ඈතට මේ කදුවැටිය දිස්වන්නේ කිඹුලකු ආකාරයට බැවින් ඒ නම ව්‍යවහාර වී ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය ශ්‍රේෂ්ඨතම නරපතියා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දුටුගැමුණ මහරජතුමාගේ තොරතුරු රැසක් ගලේ කෙටූ ලිපිවලින් ම ආරක්ෂා කරගෙන ඇති පියංගල පූජාභූමියයි මේ.
පරසතුරන් පරදා ජයකෙහෙළි නංවා රට එක්සේසත් කළ දුටුගැමුණු මහ නරපතියාගේ බිසව සහ දරුවන් පිළිබඳ සාක්ෂි ඉතිහාස කතාකරුවන් පැහැදිළිව සඳහන් කරන්නේ නැත.
ගැමුණු කුමාරයා කොත්මලේ සැඟව සිටිය දී ගැමි කතක් ආවාහ කරගෙන සිටි බව පැවසෙන අතර සාලිය නම් කුමරකු ගැන ද සඳහන් වේ. නමුත් මේ ශ්‍රේෂ්ඨ නරපතියාගේ බිසව පිළිබඳ සැබෑ කතාන්තරය කාලයේ වැලි තලාවෙන් වැළලී ගොස් ඉතිහාසයේ සැඟව පවතී.
වර්තාමනයේ රජගලතැන්න පුරාවිද්‍යාත්මක කැණීම් සහ සංරක්ෂණ කටයුතු සිදුකරන භූමියකි. රජගලතැන්න පිහිටි කඳුවැටියේ ම නැගෙනහිර බෑවුමේ පිහිටි “පියංගල” ගැන වැඩි දෙනකුගේ අවධානය යොමුව නැත. නමුත් මහා වනාන්තරයේ තැන තැන ඇති වැදි චිත්‍ර සහ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සාධක සඟවාගත් ගල්ගුහා 40ක පමණ ප්‍රමාණක් අතරින් අතීතයේ මහ සඟරුවනට වැඩහිඳිමින් භාවනානුයොගී ජීවිතයක් ගත කරන්නට සැකසූ ලෙන් 26 දුටුගැමුණු නම් ශ්‍රේෂ්ඨ නරපතියාගේ රජ පවුලේ අතිශය වැදගත් තොරතුරු රැසක් සඟවාගෙන සිටියි.
මහ කළුගල්වල කොටා ඇති ලෙන් ලිපිවලින් දුටුගැමුණු නරපතියාගේ බිසව, දියණිය සහ බෑණනුවන් ඇතුළු රජ පවුලේ තොරතුරු අනාවරණය වෙයි. එවැනි තැනක් සිරිලක ඇත්තේ පියංගල පුද බිම ම පමණි.
පියංගල පුදබිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අම්පාර සිට මහනුවර මාර්ගයේ කිලෝ මීටර 30ක් පමණ ගියවිට මාර්ගයට යාබදවය.
අවුරුදු 30 කාලක් මෙරට පැවති යුද්ධයෙන් මේ පියංගල පුදබිමට සිදු වූ හානිය සුළුපටු නොවේ. ඒ වනවිටත් භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා ලෙන් කුටිවල වැඩවාසය කළ ද යුද්ධය දරුණු වෙද්දී මේ ප්‍රදේශය මායිම් ගම්මාන බවට පත්විය.
තල්ගමුවේ ශ්‍රී සුභූති නාහිමියෝ
එහෙත් ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ ශ්‍රී සුභූති නා හිමියෝ අභීතව මෙහි රැඳී සිටියහ. තම ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා කිහිප දෙනකු සමඟ යුද්ධයෙන් පීඩා විඳින ගම්වැසියන්ටත් හැකි උපකාරයක් කරමින් ඒ සංඝ පීතෘවරයාණන් වහන්සේ පුදබිම රැකගත්හ. නමුත් ඇතැම් ලෙන් කුටි යළි යළිත් මහ වනයෙන් ගිලගත්තේ ය. ලෙන් කුටි අතරට අලි ඇතුන්, මුව පොව්වන් ආ ගියහ. සෙනසුනට රජයෙන් වෙන්කර දී තිබූ අක්කර 200ක භූමි භාගය මහ වනාන්තරයක් බවට පත්වූයේ ඇතැම් තැන්වල තිබූ පියගැට පෙළ, සක්මන් මළු පවා රූස්ස ගස්වලින් වසා දමමිනි.
නමුත් සෙනසුන අවට සිංහල ගම්මාන පවා ඇති කරමින් සුභූති හිමියෝ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියහ. අද උන්වහන්සේ එහි නැත. සුභූති හිමියන් අපවත් වූ පසු උන්වහන්සේගේ සියලු කටයුතු සිදුකරමින් සමීපව ම සිටි පියංගල පියසුමන හිමියෝ දැන් විහාරාධිපති ධූරය හොබවති.
වත්මන් විහාරාධිපති පියංගල සිරිසුමන හිමි
මෙම පුදබිමෙහි පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල නිරත වූ එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේ කියති.
“මම පියංගල පුදබිමට ගිහින් එහි ඇති පුරාවිද්‍යාත්මක සාධක පරීක්ෂා කළා. ඒ වගේම එහි පිහිටි ලෙන්ව විහාරවල තිබෙන සෙල්ලිපි කියවා ඒවායේ අර්ථ නිරූපනය කළා. මේ පුදබිමේ අතීතය ගැන කතා කළ විට ඉතාමත් පැහැදිලියි දුටුගැමුණු රජතුමාගේ පවුලේ සාමාජිකයන් මේ පියංගල පුදබිමට විශාල අනුග්‍රහයක් දක්වා තිබෙන බව. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සෘජු අනුග්‍රහයත් ලැබෙන්න ඇති. නමුත් මේ පුදබිමේ අඛණ්ඩ ඉතිහාසයක ලක්ෂණ දක්නට නැහැ. සෙල්ලිපි අනුරාධපුර මුල් යුගයට ක්‍රිස්තුපූර්ව 2-3 සියවස්වලට අදාල වුණත් මෙහි ඇති නටඹුන් අපිට දකින්න ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 04 වැනි සියවසට පමණ අයත් ඒවා.”
පියංගල වන සෙනසුනේ වංශ කතාවේ අපට දක්නට ලැබෙන සුවිශේෂීතම සාධකය වන්නේ මේ දුටුගැමුණු නම් මහා නරපතියාගේ බිසව සහ දියණියක් ගැන ශිලා ලිපි සාධක හමුවීමයි.
එල්ලාවල මේධානන්ද හිමියෝ පියංගල වන සෙනසුනෙහි ඇති ලෙන්ලිපි 20ක් පමණ කියවා තිබේ. ඒ ලිපිවල දැක්වෙන තොරතුරු අනුව උන්වහන්සේ මෙසේ කියති.
“මේ වන සෙනසුනේ ආරම්භය හෝ එහි පැරණි නාමය පිළිබඳ හෝ කිසිදු සාක්ෂියක් නෑ. පියංගල කියන්නේ පසු කාලීනව යොදාගත් නමක්. පියන්ගල දක්නට ලැබෙන සෙල්ලිපි භාෂාව, සංස්කෘති හා අක්ෂර නිර්මාණය ආදිය හැම අතින්ම ක්‍රිස්තු පූර්ව 02වැනි සියවසට අයත් බව පෙනෙනවා. ඒ දුටුගැමුණු රාජ්‍ය කාලයට සමපාතයි. ඒ වගේම මේ ලෙන් ලිපිවල පැහැදිලිව ම දුටුගැමුණු රජුගේ බිසවක ගැන සඳහන් වෙනවා. මෙහි වැදගත්ම දේ තමයි සිතුල්පව්ව ආකාරයෙන් ම මේ ස්ථානයත් සැප පහසුකම් රහිත වන සෙනසුනක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස හඳුනාගත හැකිවීම. ඒ නිසා නිර්මල බුදු දහම මේ තැන්වල ආරක්ෂා වුණා. රජගල තැන්නේ විවිධ සැප පහසු ඉදිකිරීම් සිදුකර ඇතත් මෙහි එවැනි දේ දක්නට නැහැ.”
පියංගල වන සෙනසුනේ වර්තමානයේ දක්නට ඇත්තේ ඉතා ඈත අතීතයේ ඉදිකරන ලද ගල් සහ ගඩොල් බැමිවල නෂ්ඨාවශේෂ, අනුරාධපුර යුගයට අයත් සඳකඩපහණක්, සිරිපතුල් ගලක් සහ තැන තැන විසිරී පවතින ගඩොල් කැබලි රැසකි. ඒ සියල්ල ක්‍රිස්තු වර්ෂ 04 වැනි සියවසට පමණ අයත් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
මෙම පුදබිමෙහි දැක්නට ඇති වැදගත්ම ලිපියෙහි මෙසේ දැක්වෙයි
“දෙවනපිය මහරජ ගාමිණී අභය මහරජුගේ බිසොව වූ රාජිතාගේ මව වූ අබිතිස්සාගේ ලෙණ සංඝයාට පුදන ලදී”
දුටුගැමුණු රජුගේ බිසව ගැන දැක්වෙන ලෙන් ලිපිය
අක්ෂරවල ස්වරූපය ලියා ඇති රටාව අනුව මේ ලිපියේ දැක්වෙන දෙවනපිය ගාමිණී අභය මහරජු යනු දුටුගැමුණු රජු බව තහවරු කරගෙන ඇත. මේ ලිපියේ දැක්වෙන්නේ දුටුගැමුණු මහරජුට රාජිතා නම් බිසවක් සිටි බවයි. ඇගේ මව අබිතිස්සා බව ද මේ ලිපියේ සඳහන් වේ.
තවත් ලෙන් ලිපියක මෙසේ දක්වා ඇත.
“දෙවනපිය ගාමිණී අභය මහරජුගේ දියණිය වූ ප්‍රමුඛ දූත ශුමනගේ භාර්යාවගේ ලජක ලෙණ මහා සංඝයාට පුදන ලදී”
එම ලිපිය අනුව දැක්වෙන්නේ ගාමිණී අභය මහරජුට දියණියක සිටි බවයි. ඇයද අභිතිස්සා නම්ය. ඇය විවාහ කරගෙන සිටියේ පරුමක දූත ශුමන නැමැත්තෙකි. දූත යනු තානාපති අර්ථයෙන් යෙදේ. තවත් ලිපියක දක්නට ඇත්තේ දූත ශුමන, පරුමක මිතගේ පුත්‍රයකු බවයි. පරුමක මිත යනු නන්දිමිත්‍ර යෝධයාය. ඒ අනුව දුටුගැමුණු රජුගේ දියණියගේ සැමියා නන්දිමිත්‍රගේ පුත්‍රයාය.
මේ අනුව දුටුගැමුණු රජුගේ බිසවක් සහ ඇගේ දරුවන් ගැන අපූරු හෙළිදරව්වක් පියංගල වන සෙනසුනේ සැඟ තිබිණි.
දුටුගැමුණු රජුගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ අනුග්‍රහයෙන් ඉදිකෙරුණු මේ වන සෙනසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් සාධක රැසක් තවමත් සඟවාගෙන ඇති ස්ථානයකි. අතීතයේ පටන් දියණු විහාරස්ථානක් මෙන් නොව භාවනානුයෝගී භික්ෂූන්ට තෝතැන්නක් වූ මේ පුදබිම අදටත් මහ වනයේ ඇති ගල්ලෙන් සහිත අපූරු ස්ථානයකි. ඒ ගල්ලෙන් බොහොමයක තවමත් අතීතයේ ඉදිකරන ලද පැරණි කුටි දක්නට ලැබේ. ඇතැම් ඒවා වරින්වර ප්‍රතිසංස්කරණය කර ඇත.
මහා තුරු පතරින් වැසී ඇති අක්කර 200ක භූමිභාගයක් මේ වන සෙනසුනට අයත් වුව ද දැන් අක්කර 80 ප්‍රදේශයක් පියංගල පුදබිම ලෙස රජයෙන් වෙන්කර ගැසට් කර තිබේ.
මේ ස්ථානය සංකීර්ණත්වයට පත් නොකර යෝගාවචර දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලාට භාවනානුයෝගීව සිටිය හැකි තපෝවනයක් බවට පත්කර පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් එහි පුරාවිද්‍යා උරුමය විද්‍යාමාන වන ආකාරයෙන් පව්තාවගෙන යාමටත් අපේක්ෂා කරන බව වත්මන් විහාරධිපති පියංගල පියසුමන හිමියෝ කීහ.
පියංගල පියසුමන හිමියෝ මෙසේ ද පවසති
“මේ ප්‍රදේශය මායිම් ගම්මාන කියලා නම්කරලා තිබුණු ප්‍රදේශයක්. අදටත් මේ ගම්මානවලට වන අලි තර්ජනය පවා තිබෙනවා. අපේ බලාපොරොත්තුවක් තිබෙනවා දුටුගැමුණු නරපතියාගේ පවුලේ සාමාජිකයන් පුද්ගලිකව ම අනුග්‍රහය දක්වමින් ගොඩනගා ඇති මේ සෙනසුන අතීත ශ්‍රී විභූතියෙන් නැවත ගොඩනැගීමට. අම්පාර ප්‍රදේශයට එන බැතිමතුන් වන්දනා නඩ හැටියට ඇවිත් අපෙන් අහනවා නවාතැන් ගන්න තැනක්. මේ ප්‍රදේශයේ කිසිම තැනක එවැනි ස්ථානයක් නැහැ. ඒ නිසා අපි විශ්‍රාම ශාලාවක් හදන්න පටන් අරගෙන ඒවා අතරමග නැවතිලා තියෙන්නේ. ඒ වගේම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරලා මේ ලෙන්විහාර නැවත භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට සුදුසු විදියට ප්‍රතිසංස්කරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැනටත් මා ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප දෙනකු වැඩවාසය කරනවා. අපි ඉදිරියේ දී මෙය භාවනා කරන ගිහියන්ටත් ඇවිත් භාවනා කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් කරන්න බලාපොරොත්තු වෙනවා”
රාස්සහෙළ හෙවත් ගිරිකුම්භීල කන්ද ලෙස අතීතයේ හැඳින්වූ කඳුවැටියේ නැගෙනහිර බෑවුමේ තවමත් සම්පූර්ණයෙන් ම හෙළිදරව් නොවූ අතීතයක් සඟවාගෙන සිටින පියංගල පුද බිමෙහි ඇති ලෙන්කුටි ඇතුළු ගල්ගුහාවල වැදි චිත්‍ර පවා දක්නට ඇත.
මෙහි ඇති විශාලත ම ලෙන නම්කර ඇත්තේ මිහිඳු ගුහාව නමිනි. එහි සැතපෙන බුදු පිළිමයක් තිබෙන්නට ඇතැයි සිතන සළකුණු දක්නට ඇති අතර අනුරාධපුර යුගයට අයත් සඳකඩපහණ හමු වී ඇත්තේ ද එම ලෙන අසළිනි. දැනටත් එහි පැරණි බිතුසිතුවම්වල අවශේෂ දක්නට ඇත.
අතීතයේ පටන් භික්ෂූන්වහන්සේලාට පැන් පහස සඳහා තැන වූ පොකුණක් අදටත් නිල්වන් දිය පිරී අතිශය පිරිසිදුව දක්නට ලැබෙයි. එහි කිසිදා දිය සිඳෙන්නේ නැත.
කඩාවැටුණු කුඩා චෛත්‍යයක් පිහිටි ස්ථානයක වර්තමාන දාගැබ ඉඳි වී ඇති අතර ඒ අසළම තිබූ පැරණි බෝධිය මේ වනවිට අනිත්‍යය සිහිපත් කරමින් විනාශ වී ගොසිනි. ඉදිරි දිනයක ශ්‍රී මහා බෝධි අංකුරයක් ගෙනවිත් රෝපණය කිරීමට මේ පුදබිමෙහි දායක දායිකාවන්ගේ අපේක්ෂාව වී ඇත.
ස්වභාවිකව පිහිට ගල්ගුහාවලට අමතරව අදටත් මද දුරක් යා හැකි උමගක් මේ පුදබිමේ දක්නට ලැබෙයි. ඒවා ගැන තවමත් නිවැරදි ගවේෂණයක් සිදුකර නැත.
ඉතිහාසයේ රහතන් වහන්සේලාගේ පහසින් පූජනීයත්වයට පත්ව තිබූ මේ පින් බිම අඛණ්ඩව එලෙසම පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කාර්යයකි. ඒ සඳහා බොදු බැති කාගේත් අවදානය යොමුවිය යුතුය.
ඉදිකරමින් පවතින විශ්‍රාම ශාලාව