රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඇප ලබා සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු පැමිණීම හේතුවෙන් ගාල්ල සියලුම අධිකරණයන් හි විවෘත අධිණ නඩු කටයුතු ඉදිරි දින තුනක කාලයක් නොපැවැත්වීමටත් නඩු සඳහා වෙනත් දින ලබා දී ඒවා දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමටත් තීරණය කර ඇත. .
මෙම තීරණය ගෙන ඇත්තේ අද (17) සවස මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. මෙම සාකච්ඡාව සඳහා විනිසුරුවරුන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, පොලිසිය සහ නීතිඥ සංගමයේ නියෝජිතයෝ සහභාගී වූහ.
පසුගිය 11 වැනි දා එම පුද්ගලයා ඇප මත මුදාහැරීමට පෙර බන්ධනාගාරයේ දී ඔහුගේ පීසීආර් පරීක්ෂණය සිදුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඇප ලැබීමෙන් පසු නිවසට ගිය ඔහු ඊට පසු දින එනම් 12 වැනි දා මහාධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ගාල්ල අධිකරණ සංකීර්ණයට පැමිණ ඇත. ඔහු නඩුව සඳහා පෙනී සිටීමට අධිකරණය ඇතුළට නොගිය ද නීතිඥවරුන් දෙදෙනකු හමු වී තිබේ. ඊට අමතරව ඔහු පැය කිහිපයක් අධිකරණය ඉදිරිපිට භූමියෙ රැඳී සිට ඇත. මෙම පුද්ගලයාට කොරෝනා බව තහවුරු වූ වාර්තාව නිකුත් වී ඇත්තේ ඉන් පසුවය. කොරෝනා ආසාදිත බව තහවුරුවීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ දී මෙම කරුණු අනාවරණය වී ඇත.
එම පුද්ගලයා මෙන් ම තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබීමත් ඔවුන් ද වරින් වර අධිකරණයට පැමිණෙන්නට ඇතැයි පවතින සැකය හේතුවෙන් අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ගාල්ල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සමිත් ගාල්ලගේ මහතා කීවේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.
“ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ සහ සිවිල් අභියාචනාධිකරණය යන සියලු අධිකරණයන් හි නඩු කටයුතු නොපැවැත්වීමටත් ඒ ඒ දිනයන්වලට අදාල නඩු කටයුතුවල ඉදිරි දිනයන් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමටත් තීරණය කළා. එම ආසාදිත පුද්ගලයා අධිකරණයට ඇතුළු වී නැතැත් නීතිඥයන් හමුවී තිබෙන නිසා අදාල නීතිඥයන් දෙදෙනා නිරෝධායයට යොමුකර තිබෙනවා. ඒ වගේම ඔහු සමග සම්බන්ධ වූ අනෙක් අයත් සොයමින් සිටිනවා. බන්ධනාගාරයෙන් ඇප ලැබූ මෙවැනි තවත් පුද්ගලයන් අධිකරණ සංකීර්ණයට පැමිණි තිබිය හැකි බැවින් සෞඛය අංශ ඔවුන්ගේ විස්තර ලබාගන්නා තුරු මේ තීරණය ගත්තා.”