සජීව විජේවීර විසිනි, දියයට ඡායාරූප – රසික මුතුකුමාරණ
ගොඩවාය මුහුදේ සිට ගොඩබිම දෙස බලන්නෙකුට නිල්වන් අහසත් හරිත පැපැ තුරුගොමුවත්, දුඹුරු පැහැති රෙන්ද්යක් ඇල්ලූ ආකාරයෙන් දිස්වන නිල්වන් මුහුදත් අතරින් පෙනෙන් ගොඩවාය රජමහා විහාරයේ සුදෝ සුදු පැහැති චෛත්‍ය රාජයාණන් කැපී පෙනෙන දසුනකි.
මේ දාගැබ කවදා ඉදිවූවාදැයි නොදන්නේ වුව ද මේ ස්ථානයේ විහාරයක් කරවා සඟ සතුකොට මෙතැන තිබූ වරායෙන් ලැබෙන ආදායමෙන් එම විහාරස්ථානය නඩත්තු කළ බව දක්නට ලැබෙන ශිලා ලේඛන සහිත ඉතිහාසයෙක් තිබේ.
වළවේ ගඟ මෝය ආසන්නේය පිහිටි එතැන එකල වරායක් තිබී ඇති බව මේ සෙල්ලිිපි සාක්ෂි දරයි.
අද මේ ස්ථානයේ වරායක් නැතත් ගොඩවාය පැරණි වරාය ආසන්නයේ ම ගිලී ඇති පුරාණ නෞකාවක් එදා පැවැති අතීත වරායේ ශ්‍රී විභූතිය ලෝකයට කියා පාන නිහඬ සාක්ෂියක් බවට පත්ව ඇත.
2008 වර්ෂයේ දී සොයාගන්නා ලද මෙම දැව නෞකාව පුරාවිද්‍යාත්මක කාල නිර්ණයට අනුව අදින් වසර 2000කට පමණ පෙරාතුව හම්බන්තොට, ගොඩවාය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබේ. ඒ අනුව මෙම නෞකාව අග්නිදිග ආසියානු කලාපයෙන් සොයාගෙන ඇති පැරණිතම නෞකාව ලෙස පිළිගනී.
මේ දිනවල එම නෞකාව පිළිබඳ ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් ආරම්භ කර ඇත.
වරින් වර මුහුද යට කිමිදෙමින් වාර්තා කිරීමත් සංරක්ෂණ කටයුතු කිරීමත් සිදුකරන අතර ඒ සදහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සපයන්නේ ඇමෙරිකානු තානාපති අරමුදලෙනි.
සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ මේ දිනවල එම නැවේ අවශේෂ මුහුද යට ගිලී පවතින ආකාරය සම්බන්ධයෙන් සිතියම් සකස් කරන බවයි. එම වාර්තාගතකිරීම් සහ සැලැස්ම අනුව ත්‍රිමාණ රූප ප්‍රතිනිර්මාණය කිරිමේ කාර්යයක් ද සිදුකරගෙන යැයි.
“අපි මුහුද යට ඇති මේ පුරාවස්තු කොටසින් කොටස වාරතා ගත කරමින් එවායේ ඡායාරූප ගැනීම වගේ ම රූ සටහන් ඇඳීමත් කරනවා. මුහුදේ අඩි 110ට වැඩි ගැඹුරකින් මේ නැව ගිලී තිනේනේ. ඒ නිසා මේ කාර්යය ඉතාමත් වෙහෙස කරයි. එ් නිසාම ගතවන කාලය වැවියි. මෙම නැවේ අවශේෂවලට ඉහළින් එකතු වී තිබුණු වැලිතට්ටුව අපි ඉවත් කළා. ඒ විදියට නැවේ අවශේෂ පාදාගෙන තමයි සිතුවම් සහ සිතියම්ගත කිරීම කරන්නේ. වැලි තට්ටුව ඉවත් කළවිට අපිට පෙනීගිය කරුණක් තමයි සියුම් පුරාවස්තු තියෙනවා කියලා. ප්‍රදන වශයෙන් ඉතාමත් කුඩා කානේලියන් පබළු කියන පබළු වර්ගය අපිට හමුවුණා. මේ ස්ථානයේ වැලි ඉවත්කරනවිට ඒවත් වැලි වගේ ම ඉවත්ව යන්න පුළුවන්. ඒ නිසාම අපිට සිදුවුණා අතින් වැලි අයින් කරන්න. මොකද වැලි සමඟ තමයි මේ කානේලියන් පබළු තියෙන්නේ.”
මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමේ පර්යේෂකයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වනනේ මුහුද යට දී ආලෝකය ප්‍රමාණවත් නොවීම නිසා ද්‍රව්‍ය වෙන්කර හඳුනාගැනීමට ඇති අපහසුතාවයි. අඩි 110 වඩා ගැඹුරේ ඇති මෙම ගිලී ගිය නෞකාවේ අවශේෂ දක්නට ලැබෙන්නේ නිල් , කොළ, රතු සුදු අළු වැනි පාටවලිනි. කෘතිම ආලෝකය ලබාදුන් විට පමණක් පුරාවිද්‍යාත්මක අවශේෂවල වර්ණය යම් පමණකින් හඳුනාගැනීමට හැකිවෙයි.
පර්යේෂකයන් පවසන්නේ මීට පෙර වසරවල දී සිදුකරන ලද ගවේෂණවල දී තරමක් විශාල සහ පහසුවෙන් හදුනාගත හැකි ඇඹරුම් ගල්, සහ විශාලප්‍රමාණයේ බරණි හමු වූ බවයි. නමුත් මෙවර ගවේෂණයේ දී ඉතාමත් සියුම් පබළු සෑම තැනම විසිරී තිබෙන බව නිරීක්ෂණය වී ඇත. එමෙන් ම නැව ගිලී ගොස් මුහුදේ රැඳී ඇති ආකාරය අනුව නැවේ ඉහළ තට්ටුව කෑලිවලට කැටඩී ගොස් ඇති බවත් පබළු සහ වළං කටු නැව වටා සෑම තැනකම විසිරී ඇති බවත් නිරීක්සණය විය.
“මේ නැවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ද්‍රව්‍ය අධ්‍යයනය කරද්දී අපිට පෙනී යනවා නැව ගිලෙද්දී එය කැරකි කැරකී මුහුදු පත්ලට කිඳා බැස ඇති බව. නැවේ ඉහළ තට්ටුව කැඩී ඇතුළත තිබූ ද්‍රව්‍ය පවා නැව වටා විසිරී ගොස් ඇති ආකාරය අනුව ඒ බව තහවරු වනවා. මේ පබළු තියෙන්නේ නැව ගිලී ඇති ස්ථානයට අඩි 15-20ක පමණ දුරක් විසිරී යන ආකාරයෙන්.” යැයි මුතුකුමාරණ මහතා වැඩිදුරටත් කීවේය.
මෙලෙස ගිලී ගොස් ඇති නෞකාවෙන් ප්‍රධාන වශයෙන් ලැබී ඇත්තේ පාද හතරක් සහිත ඇඹරුම් ගල් සහ ඒවාට භාවිත කරන අත්ගල් තොගයකි. ඒ කිසිම ඇඹරුම් ගලක් භාවිතා කළ බවට ලක්ෂණ නැත. ඒ අනුව පැහැදිලිවන්නේ ගිලී ගොස් ඇති නෞකාවේ ඇඹරුම් ගල්ද ප්‍රවාහනය කර ඇති බවයි වෙළෙඳ සමාගමක යැයි සිතිය හැකි සළකුණක් දක්නට ඇතත් එය නිශ්චිතව හඳුනාගත නොහැක. එම නෞකාවේ අලුත්ම ඇඹරුම් ගල් ශ්‍රී ලංකාවට ගෙන ඒම හෝ ශ්‍රී ලංකාවෙන් රැගෙන යාම සිදුකරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ නිගමනයයි.
එමෙන් ම වළං කැබලි විශාල වශයෙන් ලැබෙන බවත්, ඒ අතර ලෝහ කොටස්, තම යකඩ මෙන්ම මිශ්‍ර ලෝහ කැබලි ද විශාල වශයෙන් හමුවන බව පුරාවිද්‍යාඥයෝ කියති.
මේ පුරාවස්තු විශාල තොගයක් එම ස්ථානයේ විසිරී තිබේ. අහඹු ලෙස කරන ලද පරීක්ෂණවලින් තහවරු වී ඇත්තේ එම පුරාවස්තු ගැඹුරු තට්ටුවක් ඇති බවයි.
මෙම නැව නිෂ්පාදනය කර තිබූ දැව වර්ගය සොයා ගැනීමට හැකි වුවහොත් සහ මෙහි ඇති භරණි නිෂ්පාදනය කර ඇත්තේ කවර රටකද යන්න සොයාගත හැකිවුවහොත් නැව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබිය දී ගිලී ගිය එකක් ද නැතිනම් ආපසු යද්දී ගිලී ගිය නෞකාවක් ද යන ගැටලුව නිරාකරණය වේවි.
“මේ නැව වරායට එනවද යනවදා කියා සොයා බැලීමට උත්සාහ ගැනී ඉතාමත් කුතුහලය ඇති කරන කරුණක්. නැවේ නිෂ්පාදිත දැව අනුව එය කවර රටක නැවක් ද කියා අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මෙහි අහමුවන බරණිවල නිෂ්පාදිත රට ද සොයා ගත හැකිනම් එය වදැගත් වේවි. අපි දැනට කර ඇති ගවේෂණ අනුව පෙනී යන්නේ මේ නැව දකුණු ආසියානු කලාපයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත් එකක් බවයි. නැතිනම දකුණු ආසියානු කලාපයේ ඇති වෙළෙඳ භාණ්ඩ රැගෙන රටින් පිටතට යන නැවක් ද කියා සොයාගත හැකියි.
රසික් මුතුකුමාරණ මහතා පවසන්නේ පාවිච්ච නොකරපු ඇඹරුම් ගල්වලට අමතරව මෙම ස්ථානයෙන් හමුවන තම කොටස් ඉතාමත් පිරිසිදු තතත්වයේ ඇති බවයි. ඒවා අමුද්‍රව්‍ය හැටියට කුඩා කොටස්ව ලෙස ඇති අතර ඒවා අච්චුවක වක්කර සැකසූ ඒවා බවත් මතයක් පවතී. මෙහි යකඩ හමුවන්නේ ද දිගැති හැඩැති ව්‍යුහ ලෙසිනි. ඒවා ද විශාල වශයෙන් මෙම නැව සමඟ තැන්පත් වී ඇති අතර එහි මධ්‍යය දිරානොගොස් ඉතිරිිව පවතී.
යක අමුද්‍රව්‍ය දිගැටි හැඩැති ව්‍යුහ ලෙස දකින්න පුළුවන්. මැද යකඩ ආරක්ෂා වෙලා දිගැටි හැඩැති ව්‍යුහ ගොඩක් යකඩ ප්‍රවාහනය කළා කියලා අනුමානයක් තියෙනවා.
ඇමෙරිකානු තානාපති අරමුදල මෙම නෞකාවේ ගවේෂණ කටයුතු සුදුකරන අතර එය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතින ජුලී චන්ග් මහත්මිය ද පසුගිය දිනක ගොඩවායට පැමිණි අඩි 110ක් ගැඹුරු මුහුදේ කිමිදී ගිලී ඇති පැරණි නෞකාව නැරඹුවාය.
ඇය මෙලෙස මුහුදේ කිමිදුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්ඩායම ද සමගිනි. ඇමෙරිකානු තානාපතිනිය මුහුදු ජලයේ කිමිදීමේ හැකියාව සහිත ඒ සඳහා පුහුණුවක් ලැබූ කාන්තාවකි. නමුත් මෙතරම් යට කිමිදීම සඳහා ඇය දින ගණනක් විශේෂ පුහුණුවක් ද ලැබුවාය.
එහි දී මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු කණ්ඩායම තමන්ට මුහුද යට කිමිදීමේ දී මග පෙන්වීම් සිදුකළ බවත් ආරක්ෂිතව දිය යාටට යාමට උදව් කළ බවත් ඇය සමාජ මාධ්‍යයට වීඩියෝවක් එකතු කරමින් කියා සිටියාය.
තානාපතිනිය මුහුද යට කිමිදී ගොඩවායේ පැරණී නෞකාව නැරඹීම සඳහා යන අවස්ථාවේ දී එම ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සහ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.චන්ද්‍රරත්න මහතා ද ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීහු ද පැමිණ සිටියහ
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා මෙසේ කීවේය.
“මෙම නෞකාව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක දී ම ගවේෂණ කටයුතු කළා. දැන් ඒ සඳහා ඇමෙරිකානු තානාපති අරමුදලෙන් අධාර ලැබී තිබෙනවා. ඒ අනුව අපි නැවේ ගවේෂණ කටයුතු, වාර්තා කිරිමේ කටයුතු සිදුකරනවා. ඒ වගේම විනාශ විය හැකි පුරාවස්තු හමු වූ විට ඒවා ආරක්ෂා කරගැනීමටත්, සංරක්ෂණය කරන්නත් කටයුතු කරනවා.”
මෙම ගවේෂණ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීමෙන් ගාලු මුහුදු පුරාවිද්‍යා එකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන්, රසික මුතුකුමාරණ, රුක්ෂාන් ප්‍රියනන්දන්, ඉන්දික හේවගේ, සමීර කරුණාරත්න, චමල් ගමගේ, දිනාලි ඒකනායක, නදීකා කුමාරි සිදුකරන අතර සංරක්ෂණ කටයුතු සමන් කුමර, පේමින්ද කුමාර, සහ ආර්.පී.සුනිල් ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරයි.