spot_img
spot_imgspot_img

පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතුයි

පුවත්

විදෙස්

පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන වියයුතු බවත් එමගින් අපරාධ මර්ධනය කර නීතිය සහ සාමය ස්ථාපිත කළ හැකි බවත් එක්සත් ජනරජ පෙරමු‍ණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

“වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව තිබෙනවා. පොලිස් ඇමතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකරයි. ඒ නිසා ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතුයි. දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක වෙනවා. මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වෙනවා. එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අපරාධයක් මර්දනය සඳහා සෘජුව වගකීම් දැරිය යුතුයි. එහිදී ස්වාධීනත්වය වැදගත් වෙනවා.”

ආරක්ෂක සහ බුද්ධි අංශවල ගැටලු ද පාස්කු ප්‍රහාරයට සාධක වී තිබෙන බවත්, ලැබුණු තොරතුරු පවා හෙළි නොකිරීම ද ගැටලුවක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

2019 වසරේ දී ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම සමඟ ද මෙම සිද්ධි දාමය බැඳී තිබෙන බවත්, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ රැසක් මතුවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇතැම් නිර්දේශ ද මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත්,  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිසම ද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබිය දී තවමත් ඒවා නොතකා ක්‍රියාත්මක වන බවත් රණවක මන්ත්‍රීවරයා ‍කියා සිටියේය.

පරීක්ෂණ මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අතර විනය ක්‍රියාමාර්ග ගත යුතු යැයි සඳහන් වූ පුද්ගලයෙකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ද අතිශය ගැටලු සහගත බව පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!