රටේ දේශපාලන බලය අල්ලාගැනීම සඳහා විවිද පාර්ශව විසින් විටින් විට පුවත් කරළියට රැගෙන එන පාස්කු ප්‍රහාරයට අද (21) ඉරිදා දිනයට වසර 05ක් සම්පූර්ණ වෙයි.
හරියට ම අදින් වසර 05කට පෙර 2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා පාස්කු දිනයේ දී රටේ ස්ථාන 08ක දී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකරමින් ජීවිත රැසක් අහිමි කෙරිණි. රට එලෙස බිහිසුණු ලේ විලක් බවට පත්කළේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් බව අදටත් කියවුණ ද වසර 05ක් ගත වුව ද එම ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවවලට සුගතියක් වී නැත.
තම ආගමික විශ්වාසයන් අනුව දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 277 දෙනකු මරණයට පත්කරමින් ළමුන් සිය ගණනකට සිය දෙමාපියන් ද, දෙමාපියන්ට දරුවන් ද, තවත් බොහෝ දෙනකුට තම නෑ හිතවතුන් ද අහිමි කරමින් මේ ප්‍රහාරය දියත් විය.
කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක්, කොළඹ හෝටල් තුනක් ද ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කෙරිණි. එදින ම දෙහිවල පිහිටි ලැගුම්හළක දෙමටගොඩ නිවාස සංකීර්ණයක ද පිපිරීම් වාර්තා විය. මෙම ප්‍රහාරයෙන් බෝම්බකරුවන් යැයි හඳුනාගත් පුද්ගලයන් අට දෙනකු, විදේශිකයන් 45 දෙනකු, පොලිස් නිලධාරීන් 03 දෙනකු ඇතුළු පුද්ගලයන් 277 දෙනකු මරණයට පත්වූ අතර 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.
රාජ්‍ය බුද්ධි අංශ සඳහන් කළේ දෙවැනි ප්‍රහාර මාලාවක් ද සැළසුම් කර තිබුණ ද ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද වැටලීම් හේතුවෙන් එම ප්‍රහාරය පසුව වැළකී ගිය බවයි.
බෝම්බ ප්‍රහාරය එල්ලකරන ලද්දේ තව්හීද් ජමාත් නමැති ඉස්ලාමීය කල්ලියක් විසින් බවත් ඔවුන් ජාත්‍යන්තරව ක්‍රියාත්ක වන සංවිධානයක් බවත් ප්‍රකාශ කෙරිණි. මීට පෙර ද බෞද්ධ සහ සුෆී මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලකර ඇතැයි ද පැවසිණි.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ ශානි අබේසේකරට විවිධ දේශපාලනඥයන්ගෙන් චෝදනා එල්ල වූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තැබිණි. නමුත් පසුව ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම ලැබීමට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර සිටියේ මේ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු සිටින අතර එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.
කෙසේ වුව ද බොහෝ දෙනකු දැන් චෝදනා කරන්නේ රට අස්ථාවර කර දේශපාලන බලය තහවරු කරගැනීමේ වුවමනාවක් මේ ප්‍රහාරය පිටුපස තිබූ බවකි.
2019 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථික විශාල පසුබෑමකට ලක්වූ අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන සහ අපරාධකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව කියමින් මැතිවරණ ප්‍රචාරයක් ගෙන ගිය ගෝඨාභය රාජපක්ෂ අති විශාල ජන වරමකින් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූයේය. ඉන් පසු පැවැත්වූ මහ මැතිවරණයෙන් ද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සුවිශාල බහුතර බලයක් ලැබිණි.
නමුත් පාස්කු වින්දිතන්ට අදටත් යුක්තිය ඉටු වී නැත. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස් සොයාගත නොහැකිව තිබේ.
පාස්කු ප්‍රහාරයට වසර තුනක් ගතවන පසුගිය 2022 අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ ජන අරගලයකින් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකෙරුණු අතර ඔහු ඉල්ලා අස්වී පාස්කු ප්‍රහාරය සිදුවනවිට මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපිතවරයා ලෙස පත්ව සිටියි. ගෝඨාභය රාජපක්ෂගේ ධූරකාලයේ ඉතිරිකොටස ඔහු සම්පූර්ණ කරමින් සිටියි.
පසුගිය 2022 වර්ෂයේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ තුන්වැනි වර්ෂය සැමරූ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ මෙසේ කීවේය.
“රටේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය අද වනවිට වසර තුනක් සම්පූර්ණ වනවා. ජාතික ආර්කෂාව අනතුරේ දමා තිබූ ඒ කාලේ රජයේ නොසැළකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාව. මේ වනවිට අපේ රජය පත් වී වසර තුනකට ආසන්න වී තිබුණ ද මිනිසුන් 269 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත්කරමින් සිදු වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවූ බවට චෝදනා කරනවා. අපි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ යුගයක මේ වගේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම සුළුපටු දෙයක් නොවෙයි. මේ වනවිට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි. සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේ දී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බව ද අද දිනයේ ප්‍රකාශ කරමි.”
ගෝඨාභය රාජපක්ෂ කියූ ආකාරයට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සැකකරුවන් මේ ප්‍රහාරයේ සැබෑ සැකකරුවන් ද යන්න පවා මේ වනවිට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර 2022 පෙබරවාරි 18 වැනිදා නිදොස්කොට නිදහස් කෙරුනි. නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා, මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව එම නියෝගය නිකුත් කෙරිණි.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව වීම විශේෂත්වයකි.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කල්තියා තොරතුරු ලැබුණු බව 2019 ජුනි 06 වැනි දා පැවැත්වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබිණි. ඒ පිළිබඳ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් නොදුන්නේ ජනාධිපතිවරයා බුද්ධි තොරතුරු සෘජුවම ලබාගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් නිසා යැයි ද ඔහු එම අවස්ථාවේ කියා සිටියේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික රහස් ඔත්තු සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන පිරිස විසින් තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය 2023 ජනවාරි 12 නියෝග කළේය. එම නියෝගය හැර වෙනත් කිසිම ආකාරයකින් යුක්තිය ඉටුවී නැති බව වින්දිතයන්ගේ චෝදනාවයි.
පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ වත්මන් ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ද වගඋත්තර කරුවකු ලෙස නම්කර තිබුණ ද ඔහුට ජනාධිපතිවරයාට හිමි මුක්තිය ලැබෙන බැවින් ඔහු ඉවත් කෙරිණි.