රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක් හේතුවෙන් දිවයිනේ සියලුම මරණ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී තිබේ.
මේ වනවිට නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු රෝහල් මෘත ශරීරාගාරවල ගොඩගැසෙන තත්ත්වයක් උද්ගත වෙමින් පවතී,
2020.11.13 දිනැතිව RG/MBD/1/චක්‍රලේඛ ලෙස සඳහන් කරමින් වැඩබලන රෙජිස්ට්‍රාර් ජනරාල් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක විසින් මෙම චක්‍රලේකය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සිලුම දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරුන් ඇතුළු නිලධාරීන් රැසකට පිටපත් සහිතව නිකුත් කර තිබේ.
නිවසක හෝ නිවසින් සහ රෝහලකින් පිටත දී හෝ රෝහලක දී මරණයක් සිදුවූ විට ඒ සියලුම මරණ ලියාපදිංචිය උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් සතුවුව ද ඔවුන්ගේ කාර්යභාරය වන්නේ මරණයට හේතුව නිශ්චිතව සඳහන් කරමින්, ග්‍රාම නිලධාරීවරයකු, වෛද්‍යවරයකු, හදිසි මරණ පරීක්ෂකවරයකු හෝ මහේස්ත්‍රාත්වරයකු විසින් ලබාදෙන තීන්දුවක් අනුව මරණය ලියාපදිංචි කර මරණ සහතිකයක් නිකුත් කිරීම පමණි.
මරණයට හේතුව සොයා බැලීමේ වගකීම හෝ ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීම උපත් හා මරණ ලියාපදිංචිකිරීමේ රෙජිස්ට්‍රාර්වරුන්ට, දිසාපිති හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට අයත් කාර්යභාරයක් නොවේ.
එසේ වුව ද වැඩබලන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ රජය විසින් ප්‍රකාශිත කොවිඩ් – 19 වයිරස ව්‍යාප්තවීමේ අවදානම් කාල පරිච්ඡේදය අවසන් වන තෙක් නිවසක දී සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට මෙම උපදෙස් මාලාව අදාල වන බවයි.
එහි දී ඔහු සඳහන් කර ඇත්තේ වැඩබලන පොලිස්පතිගේ අංක RTM(117) සහ 2020.11.05 දිනැති ලිපියෙන් ග්‍රාම නිලධාරී විසින් මරණ වාර්තාවක් ලබා දිමේ දී එම මරණය පිළිබඳ නිසි සොයා බැලීමකින් පසුව සහ එම මරණය කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අදාල මරණය පිළිබඳ ඉදිරි කටයුතු සිදුකරන ලෙස සියළුම ග්‍රාම නිලධාරීවරු දැනුම්වත් කරන ලෙස සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
වැඩබලන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙස කේ.ජී.ධර්මතිලක උපදෙස් දී ඇත්තේ ඒ අනුවය. ඔහු විසින් නිකුත් කළ චක්‍රලේඛයේ 02 වැනි කරුණ ලෙස සඳහන් කර ඇත්තේ නිවසක පුද්ගලයකු මියගිය අවස්ථාවක දී එම පුද්ගලයාගේ මරණය කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ලියාපදිංචි කළ යුතු බවයි.
ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් වරයා (වැඩ බලන) විසින් මෙතෙක් උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන්ට අදාල නොවන වගකීමක් පවරා තිබේ. මරණයකට හේතුව තීරණය කිරීමේ වගකීම ඇත්තේ ග්‍රාම නිලධාරී වරයාට, වෛද්‍යවරයකුට, හදිසි මරණ පරීක්ෂකවරයාට හෝ මහේස්ත්‍රාත්වරයාට පමණි. රෙජිස්ට්‍රාර්වරුන්ට ඇත්තේ මරණයට හේතුව සඳහන් කළ විට එය ලියාපදිංචියයි.
ඔහු මෙම චක්‍රලේඛයේ 03 වැනි කරුණේ දක්වා ඇති පරිදි නිවසක සිදුවන මරණ සම්බන්ධ මෙතෙක් අනුගමනය කළ ක්‍රියාවලිය තවදුරටත් අර්බුදය කරා යයි.
එහි සඳහන් කර ඇත්තේ නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරිම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාවක් හෝ වෛද්‍ය වාර්තාවක් මගින් ඔබ වෙත තොරතුරු ඉදිරිපත් වන අවස්ථාවක දී මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුම්වත් කර මෙම මරණය කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන තිබේ ද යන්න තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් මරණය ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි යනුවෙනි.
මෙය මරණ සම්බන්ධ මෙතෙක් ශ්‍රී ලංකාවේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම අධිකරණ අමාත්‍යාංශයෙ නිර්දේශ ද බරපතල අර්බුදයකට හෙළිමකි.
නිවසක සිදුවන මරණයක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයකු මරණය අවසන් කටයුතු කිරීමට භාර දීමෙන් අනතුරුව එය රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ එම මරණය සිදුව ඇති ආකාරය පිළිබඳ තමන් සෑහීමකට පත්වන්නේ නම් පමණි. නිවසක සිදුවන මරණයක දී වෛද්‍යවරයකුගේ වාර්තාවක් රෙජිස්ට්‍රාර් වරයා වෙත ලැබෙන්නේ එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයකු මරණ පරීක්ෂණයක් පවත්වා වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරික්ෂණයක් ද පැවත්වා තිබේනම් පමණි. මරණ පරික්ෂකවරයකු මරණයක් හා සම්බන්ධවන්නේ නම් අනිවාර්යයෙන් ම එය පොලිසිය දැනුම්වත්ව සිදුවන්නකි. එමෙන් ම මරණ පරීක්ෂකවරයා අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන අයකු බැවින් එම ක්‍රියාවලිය අධීකරණමය කටයුත්තක් වන අතර සෑම මරණයක් සම්බන්ධයෙන් ම මරණ පරීක්ෂකවරු අධිකරණයට කරුණු වාර්තා කරයි. එවන් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බැවින් රෙජිස්ට්‍රාර්වරුන්ට මරණ පරීක්ෂකවරයා විසින් ලියාපදිංචිය සඳහා යොමුකරන මරණයක වැඩිදුර හේතුකාරණා වෛද්‍යවරුන්ගෙන් හෝ පොලිසියෙන් තහවුරු කරගැනීමට රාජකාරිමය අවශ්‍යතාවක් නොමැත. මරණයක් සම්බන්ධ පීසීආර් පරීඛෟෂණය කර තිබේ ද යන්න තහවරු කර ගැනීමට මරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ඇති බය කවරක්ද යන්න මෙහි දී ගැටලුවට තුඩු දෙන කරුණකි.
වැඩබලන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛයේ ඇති ගැටලුසහග තත්ත්වය හේතුවෙන් නිවසක සිදුවන සෑම මරණයක් ම පීසීආර් පරීක්ෂණ පැවැත්විය යුතුය යන අදහසක් මතුව ඇත. ඔහු එහි “මෙම මරණය කොරෝනා මරණයක් නොවන බව තහවුරු කර ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන තිබේ ද යන්න තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් මරණය ලියාපදිංචි කිරීමට කටයුතු සිදුකරන ලෙස” සඳහන් කිරීමෙන් පෙනී යන්නේ නිවසක සිදුවන සැම මරණයක් ම පීසීආර් පරීක්ෂණයකට යොමුකර ඒ බව තහවුරු කරගත් විට පමණක් මරණය ලියාපදිංචි කරන බවයි.
මේ හේතුවෙන් මරණ පරීක්ෂණ ක්‍රියාවලිය දැඩි අවුලකට පත්ව ඇත. චක්‍රලේඛය නිකුත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ නිවෙස්වල සිදුවූ මරණ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා රෝහල්වලට රැගෙන ඒමට කටයුතු කර තිබිණි. පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට ජෛව සාම්පල ලබාගැනීමේ හැකියාව ග්‍රාම නිලධාරින්ට හෝ මරණ පරීක්ෂකවරුන්ට නැත. අවම වශයෙන් එය සිදුකළ යුතුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු විසිනි. නමුත් මරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ද වගකීමක් නොමැති බැවින් සියලුම මරණ මෘත ශරීරාගාර ඇති රෝහල් වෙත යොමුකිරීමට සිදුව ඇත.
නිවසක මියගිය පුද්ගලයකුගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට බලය ඇත්තේ අධිකරණ වෛද්‍යවරයකුට පමණි. එසේ නම් මෘත ශරීර සියල්ල අධිකරණ වෛද්‍යවරු සිටින රෝහල්වෙත යොමුකළ යුතුය. ශ්‍රී ලංකාවේ පීසීආර් පරීක්ෂණාගාර ඇත්තේ 22ක් පමණී. දකුණු පළාතටම ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. මේ නිසා මොණරාගල, ඇඹිලිපිටිය රෝහල්වල පීසීආර් පරීක්ෂණ වාර්තා පවා නිකුත් කරන්නේ කරාපිටිය රසායනාගාරයෙනි.
මොණරාගල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයක් ඇති අතර දිස්ත්‍රික්කයේ එක් කෙළවරකට රෝහලේ සිට දුර කිලෝ මීටර 120කි. ඒ ගමේ නිවසක මරණයක් සිදුවුවහොත් මොණරාගල රෝහලට සිරුර ගෙන ආ යුතුය. ඉන් පසු අධිකරණ වෛද්‍යවරයා විසින් ජෛව සාම්පල ලබාගෙන ඒවා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකිරීමට සිදුවෙයි. රෙජිස්ට්‍රාර් ජනරාල් වරයා පවසන ආකාරයට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ගෙන ආ මළ සිරුරු පානදුර රෝහලේ පවා ගොඩගැසී ඇත.
මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ නිවෙස්වල මියයන සියලුම මරණ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරිමට උපදෙස් ලබා දී තිබීම විහිළුවට කරුණක් බවයි.
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් තම විෂය පථයට අදාල නොවන උපදෙස් මාලාවක් නිකුත් කිරීම හේතුවෙන් දැඩි අර්බුදයක් මතුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ද සාකච්ඡා කර ඇති අතර මරණ පරීක්ෂණ සම්න්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්ණායක සකස් කරමින් සිටින බව ද අධිකරණ වෛද්‍යවරු කියති.
ඒ පිළිබඳ අදහස් දැක්වූ කොරෝනා මෘත දේහ සම්බන්ධ අධිකරණ වෛද්‍ය කටයුතු පිලිබඳ කමිටු සාමාජිකයකු වන අයිඩීඑච් හා මුල්ලේරියාව රෝහල්හි විශේෂඥ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා මහතා මෙසේ කීවේය.
“ අපි මේ නිර්ණායක කෙටුම්පත් කර සාකච්ඡා කරමින් සිටිනවා. ඉතාමත් ඉක්මණින් අදාල සියලුම අංශ වෙත එය ඉදිරිපත් කරනවා. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහ එහි නිලධාරීන්ගේ වගකීම වෙන්නේ මරණ ලියාපදිංචි කිරීම පමණයි. මරණයක් නිවසේ දී සිදවූණත් රෝහලකට ගෙන යන අතරමග සිදුවුණත්, රෝහලේ දී සිදුවුණත් මරණයට හේතුව තීරණය කිරීමේ වගකීම ග්‍රාම නිලධාරීන්ට, මරණ පරීක්ෂකවරුන්ට, වෛද්‍යවරුන්ට තිබෙනවා. නමුත කොරෝනා තත්ත්වය හමුවෙ අපි දැනට යෝජනා කර තිබෙනවා නිරෝධාන මධ්‍යස්ථානවල හෝ නිරෝධායනය වන නිවාසවල මියයන පුද්ගලයන්ගේ මරණ අනිවාර්යයෙන් ම පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමට, ඒ වගේ ම හුදකලා කර ඇති ප්‍රදේශ අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල සිදුවන මරණ අපි යෝජනා කර තිබෙනවා පීසීආර් පරීක්ෂණ කිරීම සුදුසුයි කියලා. අනෙක් ප්‍රදේශවල සිදුවන මරණ හදිසි මරණ පරික්ෂකවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරික්ෂවරයාගෙන් කොරෝනා තත්ත්වය පිළිබඳ සැකයක් තිබේද නැද්ද යන්න විමසා බලා මරණයට හේතුවක් පිළිබඳ සෑහීමකට පත්වන්නේ නැතිනම් අධිකරණ වෛද්‍යවරයා තීරණය කළ යුතුයි පීසීආර් කරනවා ද නැද්ද කියලා. නැතිව කොරෝනා අවදානමක් නැති මරණයට පැහැදිලි හේතුවක් හඳුනාගත හැකි මරණ පවා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන්න අවශ්‍ය නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණයක දී පීසීආර් කිරීම කරන්නේ වෛද්‍යවරයාගේ අභිමතය පරිදි. රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ උපදෙස් ලබාදීමේ දී මතුව තිබෙන ගැටලුව නිසා අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග සාකච්ඡා කරලා අදාල උපදෙස් කඩිනමින් නිකුත් කරනවා.
මේ කරුණු සම්බන්ධයෙන් විමසීමට අප වැඩබලන රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී.ධර්මතිලක දුරකථනයෙන් සම්බන්ධ කරගත් විට ඔහු කියා සිටියේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු යොදමින් සිටින බවයි. එසේ කියූ ඔහු අප ඇසූ කිසිවකට පිළිතුරු නොදී දුරකථනය විසන්ධි කළේය.