උත්සව සමයේ දී ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නංවමින් ව්‍යාපාරිකයන් විසින් සිදුකරන ජාවාරමකින් ජනතාව පෙළීම වළක්වාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අසමත්ව ඇතැයි පවසමින් අද (08) විශාල පිරිසක් එම අධිකාරිය ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණයක නිරත වූහ.
එහි දී ආචාර්ය අජන්තා පෙරේරා පොල්පිත්තක් රැගෙන පාර්භෝගික අධිකාරියේ සභාපති ලෙස මාධ්‍යයට පෙන්වීමද සිදුකරන ලදි. මෙම පිරිස පාරිභෝගික අධිකාරියට ඇතුල්වීමට උත්සාහ කලත් එය පොලිසිය විසින් වළක්වාලූයේ ය.
දේශපාලන ක්‍රියාකාරික දර්ශන තන්ත්‍රීගේ පිරිසක් සමඟ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා මුණගැසිමට පාගමනින් යාමට උත්සාහ කිරිමේ දී පොලිසිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. අනතුරුව පිරිස විසිර ගිය අතර පාරිභෝගික කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට දී යළිත් රැස්වී ඇත. එහිදි අමාත්‍යවරයා පිරිසට සාකච්ඡාවක් ලබාදී ඇති අතර පාරිභෝගික පනතේ වෙනස්කම් සිදුකිරිමටත්, පාරිභෝගික කමිටු රටපුරා පිහිටුවීමටත්, උත්සව සමයේ සිදුකරන ජාවාරම් වැලැක්විමටත් පියවර ගන්නා බව සඳහන් කර ඇති බවත් වැටලිම් කිරිම සඳහා නිලධාරින් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අවස්ථාවට දේශපාලන හා සිවිල් සංවිධාන රාශියක නියෝජිතයින් පැමිණ සිටියහ. මෙම විරෝධතාවය ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය හා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය විසින් කැඳවා තිබිණි.


