“මට විභාගය ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. පාසලේ දී එදිනෙදා උගන්වන පාඩම් එදාම ගෙදර ඇවිත් පාඩම් කළා. පැරණි ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිව්වා. හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් දැනෙනවා.” යැයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත හැකි ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200ක් ම හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව පවසන්නීය.
ගාල්ල වටරැක පදිංචි ඇය දරුවන් දෙදෙනකුගේ පවුලේ වැඩිමලාය. ව්‍යාපාරිකයකු වන ඉන්දික කරුණාතිලක සහ නිලන්ති දීපිකා වික්‍රමනායක යුවළගේ දියණිය වන ඇගේ බාල සහෝදරයා නෙතුම් මන්මිඳු කරුණාතිලක ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
සියති විතුම්සා දියණිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“විභාගයේ ප්‍රතිඵල නිකුත් කරලා කියපු ගමන් අපි ඉන්ටර්නෙට් එකෙන් බැලුවා. මට ලකුණු 200ක් ම තිබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මට මේ ජයග්‍රහණය ලබාගන්න පළමු වසරේ සිට මේ දක්වාම මට ඉගැන්වූ සියලුම ගුරුවරු ලොකු දායකත්වයක් දුන්නා. දිස්නා ගුරුතුමිය, කුමුදු ගුරුතුමිය සහ ලලිත් ගුරුමහතා මට දිගටම උදව් කළා. ඒ වගේම ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය වගේ ම විදුහලේ විදුහල්පතිනි චාන්දනී උඩුකුඹුර මහත්මියත් මට ගොඩක් උදව් කළා. ඒ වගේ ම ගෙදරින් ලැබුණු සහයෝයත් විශාලයි. අම්මා තාත්තා මගේ අධ්‍යාපන කටයුතු ගැන නිතරම සොයා බැලුවා. අත්තම්මා මගේ සැපදුක් නිතරම සොයා බලමින් උදව් කළා. ඒ වගේම මේ ජයග්‍රහණය ලබාගන්න මට මගේ මල්ලීගෙන් විශාල සහයක් ලැබුණා. මට දෙයක් වැරදුණත් එයා ඒ දෙය පෙන්නලා දෙනවා. මගේ පාඩම් වැඩවලදී එයා තමයි ලොකුම සහායකයා.”
ඇය වැඩිදුරටත් පවසන්නේ සිය මව, පියා සහ අත්තම්මා විසින් නිවසේ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් ඇතිකර තිබූ බවයි. පාසලේ පරිසර ළමා සමාජය හා කුඩා මිතුරියෝ වැඩසටහනට සම්බන්ධ වී සිටින සියති විතුම්සා චෙස් ක්‍රීඩාවට සුවශේෂි දක්ෂතා දක්වන්නීය. එමෙන් ම සංගීත විෂයට ද කැමැත්තක් දක්වන ඇය මේ දිනවල නිවසේ දී සංගීතය ප්‍රගුණ කරයි. පාසලේ අධ්‍යාපන කටයුතු සඳහා මුල්තැන් දෙමින් කටයුතු කළ ඇය උපකාරක පන්ති කිහිපයකට ද සහභාගී වූවාය.
සියති විතුම්සා දියණියගේ මව නිලන්ත දීපිකා වික්‍රමනායක මෙසේ කීවාය.
“අපිට තියෙන එකම සම්පත මේ දරුවෝ දෙන්නා. දුව සංඝමිත්තා විද්‍යාලයේ පළමු දෙවැනි ශ්‍රේණිවල ඉඳලම අධ්‍යාපන කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වන බව අපිට තේරුණා. ඒ නිසා එයාට නිදහසේ අධ්‍යාපනය ලබන්න උපරිම සහයෝගය අපි දුන්නා. අනවශ්‍ය පීඩනයක් නැතිව එයා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා එයාගේ තාත්තා, ආත්තම්මා, මල්ලී වගේ හැමෝම උදව් කළා. අපිට හරිම සන්තෝෂයි මේ ජයග්‍රහණය ගැන. මමත් සංඝමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඉතින් දුව අපේ පාසලට අත්කරදුන් මේ කිර්තිය ගැන ලොකු සතුටක් තියෙනවා.”
සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි චාන්දනී උඩුකුඹුර මෙසේ කීවාය.
“මේ දියනිය සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගනීවි කියා අපිට ලොකු බලාපොරාත්තුවක් තිබුණා. පාසලේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නංවන්න අපි කාලයක සිට කරගෙන ආපු වැඩපිළිවෙල සාර්ථකත්වයට පත්ව තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා. මේ දරුවා සමග විභාගයට මුහුණ දුන් අපේ පාසලේ ලකිති විහංගා දියණියත් ලකුණු 199ක ලබාගෙන තිබෙනවා. මේ දරුවන් සියලු දෙනාගේම ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙනවා. අපි මේ දියණියන් දෙදෙනාට වගේම සියලුම දරුවන්ට සුබ පතනවා.”
සියති විතුම්සා දියණිය පවසන්නේ ඇගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම බවයි.
(‘රට’ චැනල් එකත් subscribe කරන්න)