spot_img
spot_imgspot_img

දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වුණොත් මෙවැනි මරණ වළක්වාගන්න පුළුවන්

පුවත්

විදෙස්

“දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ අම්මාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මත් එක්ක දරුවා ගෙදර තියලා යන්නේ නැතිව ඊට වඩා වගකීමෙන් වැඩ කළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා” ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා අවවාද කරමින් කියා සිටියේය.

ඔහු මෙලෙස අවවාද කළේ “දරුවා ළි‍‍ඳට වැටිලා තිබුණා කියලා මම දන්නේ නෑ. දරුවා මියගියාටත් පස්සේ මම ඒ බව දන්නේ. මගේ නෝනාට මානසික ලෙඩක් තියෙනවා” යැයි ඉරිදා (25) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය වයස අවුරුදු 02 ක දරු‍වකුගේ මරණ පරීක්ෂණයේ දී දරුවාගේ පියා සාක්ෂි දුන් අවස්ථාවේ දී ය.

මෙලෙස මියගොස් ඇත්තේ මාගෙදර, ඇල්ල ඉහළ පදිංචි නයිදප්ප හේවගේ ඔෂාන් නෙත්සර නමැති දරුවෙකි. එම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ(26) රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.

එහි දී සක්ෂි දුන් පියා නයිදප්ප හේවගේ නුවන් සංජීව (35) වැඩිදුරටත් මෙසේ කීවේය.

“මියගොස් සිටින්නේ මගේ එකම පුතා. ඉරිදා උදේ මම පොල් කඩන්න ගියා. සවස  2.00ට විතර නැවත නිවසට එන විට පුතා පෙනෙන්න හිටියේ නැහැ. මම සුදු මහත්තයෝ කියලා කතා කළත් එයා ආවේ නෑ. බිරිඳගෙන් පුතා ගැන ඇහුවාම මට කිව්වා දරුවාට සනීප නෑ කියලා. පුතා සාලේ පැදුරක හාන්සි කරලා තිබුණා. මොකද වුණේ කිව්වාට බිරිඳ මොකුත් කිව්වේ නෑ. මම හයියෙන් කෑ ගැහුවා. එතකොට වටේ අය දුවගෙන ආවා. අපි 1990ට කතා කරලා පුතා කරාපිටිය රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරු දරුවාට ප්‍රතිකාර කළත් පුතා මියගියා. මම ගෙදර ගිහින් බිරිඳගෙන් ඇහුවා මොකද වුණේ කියලා. එතකොට කිව්වා ළිඳට වැටිලා හිටියා මම ගෙදරින් ගෙනත් තිබ්බා කියලා. ඇයට මානසික රෝගයක් තියෙනවා. ඇය ගෙදර වැඩ කරන්නෙත් නෑ. උයලා පිහලා ඒ කටයුතු කරන්නෙත් මම.”

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා මෙම දරුවාගේ පටක කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබුණ ද දරුවා දියේ ගිලීමෙන් මියගොස් ඇති බව සිය වාර්තාව මගින් තහවරු කර තිබිණි. ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව සැළකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුරු විවෘත තීන්දුවක් ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!