spot_img
spot_imgspot_img

දරුවන් දෙදෙනකු බේරා, දිවි අහිමිකරගත් පියා

පුවත්

විදෙස්

“අපි කවුරුවත් මුහුදේ නෑවේ නෑ. පොඩි ළමයි වැල්ලේ සෙල්ලම් කරමින් සිටිය දී එයාලා රළකට හසුවෙලා ගහගෙන යනවා දැකලා මහත්තයා මුහුදට දුවල ගියා බේරගන්න. ඒත් එයා මුහුදු රැළට අහුවෙලා ඈතට ගහගෙන ගියා” යැයි පසුගිය 11 වැනි දා ගාල්ල දඩල්ලේ දී මුහුදේ ගිලී මියගිය ගමගේ චාමර හිරාන් හරිසිංහගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳ කීවාය.
වියට්නාමයේ ඇඟළුම් කම්හලක තත්ව පාලන කළමණාකරුවකු ලෙස සේවය කළ ගමගේ චාමර හිරාන් හරිසිංහ බටකැත්තර, පිළියන්දල පදිංචි 46 වියැති දෙදරු පියෙකි. වියට්නාමයේ ඔහු සමඟ රැකියාවේ නිතර තවත් මිතුරන් හතර දෙනකු සමඟ සියලුම පවුල්වල සාමාජික සාමාජිකාවන් සමඟ ඔවුන් ගාල්ලට පැමිණ තිබුණේ විනෝදයෙන් දිනයක් ගත කිරීමේ අපේක්ෂාවෙනි.
එම අවස්ථාවේ දී තම සැමියා මෙලෙස අනතුරට පත් වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් පවුත්තුවාදුර විමාලි ප්‍රියංකා නිල්මිණි ද සිල්වා (45) කීවාය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කියා සිටියාය.
“මගේ මහත්තයා පසුගිය 08 වැනි දා දින 10ක නිවාඩුවක් සඳහා වියට්නාමයේ සිට ලංකාවට ආවා. එයා එක්ක වැඩ කරන තවත් ශ්‍රී ලාංකික යාලුවෝ හතරදෙනෙක් ආවා. අපේ පවුල්වල අය දඩල්ලට ආවේ දරුවන් එක්ක විනෝද වෙලා යන්න හිතාගෙන. දවල් 11ට විතර දඩල්ලේ ‍හෝටලයකට ඇවිත් වෙරළ අසළ සිටියා. දරුවෝ වෙරළේ විනෝද වුණා. අපි කිසිම කෙනෙක් මුහුදේ නෑවේ නෑ. දවල් කෑම කාලා ටිකකින් බලනකොට දරුවෝ රළ පහරට හසුවෙලා ගසාගෙන යනවා දැක්කා. මගේ මහත්තයා මුහුදට දුවගෙන ගිහින් ඒ ළමයි බේරගන්න හැදුවා. ළමයි ගහගෙන ගියපු ළමයි දෙන්නා බේරගත්තා. මහත්තයා වතුරට ගහගෙන ගියා. විදේශිකයෙක් පීනලා ගිහින් මහත්තයා ගොඩට අරගෙන ආවා. ඒ වෙලාවේ එයාට සිහිය තිබුණේ නෑ. අපේ වාහනයකින් ම මහත්තයා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කකළා. හවස එයාව දැඩි සත්කාර ඒකකයට ගත්තා. 12 වැනි දා එළිවෙන පාන්දර මහත්තයා මියගියා.”
මියගිය පුද්ගලයා සමඟ වියට්නාමයේ රැකියාවේ නරත රඹුක්කන පදිංචි ලොකුමුහන්දිරම්ලාගේ උපාලි දිසානායක (48) ද සාක්ෂි දෙමින් කියා සිටියේ දරුවන් බේරාගැනීමට මුහුදට ගිය තම මිතුරා ජලයේ ගසාගෙන ගිය බවයි.
මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්නගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මරණය සිදුව ඇත්තේ මුහුදු වතුර අධික ලෙස පෙවීම හේතුවෙන් බව තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!