-2.5 C
New York

මිනිසුන්ට නිදහස අහිමිකර, ගවයන්ට, කුකුළන්ට, ඌරන්ට නිදහස දුන් රජය

Published:

මිනිසුන්ට නිදහසක් නැති රටක නිදහස් දිනය සමරණ රටකරවන ඇත්තෝ රටේ සතුන්ට නම් නිදහස ලබාදීමට පෙරමුණ ගෙන තිබේ.

මෙතෙක් කිසිදු වසරක නොවූ විරූ ආකාරයෙන් ජාතික නිදහස් දිනය සමරන පෙබරවාරි 04 වැනි දා හදිසියේ ම මාංශ වෙළඳාම තහනම් කළ රජය සුරාසැල් වසා දැමීමට ද කටයුතු කර තිබේ.

ආගමික හෝ සංස්කෘතික උත්සවයක් නොවුණු ජාතික නිදහස් දිනය දවසේ සතුන්ගේ මස් අළෙවිය තහනම් කළේ මිනිසුන්ට නැති නිදහස සතුන්ට ලබාදීමට දැයි ජනතාව ප්‍රශ්න කරති.

එමෙන්ම ර‍ජයට වැඩිම ආදායමක් ලැබෙන්නේ සුරාබදුවලින් වුව ද සුරාසැල් වසා තැබී‍‌මේ තීරණයෙන් එක් දිනක් තුළ කෝටි ගණනක ආදායමක් රජයට අහිමිවෙයි.

සංචාරකයන්ගේ පැමිණී‍මේ වර්ධනයක් දක්නට ලැබෙන මේ දිනවල දී සුරාසැල් වසා තැබීම සංචාරක කර්මාන්තයට ද මරු පහරකි.

අද (04) මස් මිලදී ගැනීමට Food City, Keels Super, Arpico වැනි සුපිරි වෙළෙදසැල්වලට ගිය පාරිභෝගිකයින්ට දැකගත හැකිවූයේ රජයේ රෙගුලාසි හේතුවෙන් මස් මාංශ අලෙවි නොකරන බවයි.

එමෙන් ම අම්බලන්තොට ප්‍රාදේශීය සභාව නගරයේ මාළු සහ මස් අළෙවි කරන සියලු දෙනාට ඊයේ නියෝග කර තිබුණේ එම අළෙවි ස්ථාන වසා දමන ලෙසයි. මේ නිසා එම වෙළෙන්දෝ ද දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.

අප කළ සොයා බැලීමක දී පෙනී ගියේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රදාන ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

PL/7/10/11 හා 2024.01.29 දිනැති ලිපිය මගින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත දන්වා ඇත්තේ 2024.02.04 වැනි දින නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් එදින දවස පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර සුපිරි වෙළෙඳ සැල්වල ද දැන්වීමක් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණු අතර එහි සඳහන් වූයේ ද රජයේ රෙගුලාසිවලට අනුව අද දින මස් මාංශ අලෙවි නොකරන බවයි.

එසේ වුව ද සුපිරි වෙළෙඳ සැල්වල මාලු අලෙවි කරන ආකාරය දක්නට ලැබුණි. ඔවුන් පවසා සිටියේ මාළු එම කාණ්ඩයට නොවැටෙන බවයි.

Related articles

Recent articles

spot_img