spot_img
spot_imgspot_img

වෛද්‍යවරයාට පහර දුන්නා යැයි තිදෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක සහ සේවකයන් දෙදෙනකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 52 හැවිරිදි කාන්තාවක් සහ 45, 43 වයස්වල පසුවන සේවකයන් දෙදෙනෙකි.

පසුගිය 17 වැනිදා විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය සේවකයන් විසින් පසුගිය 16 වැනි දා වැඩවර්ජනයක් දියත් කළ ද තමන් සේවයට පැමිණෙන බව පවසමින් පිළිකා ඒකකයේ කණිෂ්ඨ සේවකයන් දැනුම් දී තිබූ බැවින් තමන් එදිනට නියමිත සැත්කම් සඳහා සූදානමින් සිටිය ද ඔවුන් සේවයට නොපැමිණීම හේතුවෙන් ගැටලුවක් මතු වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඇති වූ ආරවුල අතරතුර කණිෂ්ඨ සේවකයන් විසින් තමනට පහරදුන් බවත් විශේෂඥ වෛද්‍යවරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම සිද්ධිය මුල්කරගෙන, වෛද්‍යවරයා විසින් තමන්ට පහරදුන් බව කියමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් රෝහල්ගත වී සිටි අතර ඒ හේතුවෙන් පසුගිය 18 වැනි දා අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (22) දක්වා රිමාන්ඩ් කර තිබිණි.

වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72ක් පසුගිය 16 රටපුරා පැය 24ක වැඩවර්ජනයක් පවත්වන ලදී.

පිළිකා ඒකක‍යේ කටයුතුවලට වැඩ වර්ජනය බාධාවක් විය හැකි බැවින්, එදින පැවැත්වීමට නියමිත සැත්කම් වෙනත් දිනයක දාගැනීමට සිදුවන්නේ ද යන්න වාට්ටුවේ කණිෂ්ඨ කාර්ය මණ්ලයෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ පිළිකා ඒකකයේ කිසිවකු වැඩ වර්ජනයට එකතු නොවන බවයි.

නමුත් විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා පවසන්නේ 16 වැනි දා රාජකාරී සඳහා පැමිණීමට නියමි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් එදින නොපැමිණීමෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත් වූ බවයි.

පසුදින එනම් 17 වැනි දා එම සේවක සේවිකාවන් රාජකාරියට සේවයට පැමිණි අවස්ථාවේ දී වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට ඉඩ දී නැත. ඒ අවස්ථාවේ දී කණිෂ්ඨ සේවකයන් සහ විශේෂඥ වෛද්‍යවරයා අතර ගැටලුකාරී තත්වයක් හටගත් බවත් ඉන් අනතුරුව වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට යන විට එම ස්ථානයට පැමිණි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් තමන් වටකරගෙන කෑ කෝ ගසමින් බැන වදිමින් පහරදුන් බවත් වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ සටහන් කර ඇත.

ඒ පිළිබඳ මූලික විමර්ශනයකින් අනතුරුව සැකකාර කණිෂ්ඨ සේවකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!