spot_img
spot_imgspot_img

බංග්ලාදේශ මැතිවරණයෙන්, සික් හසීනා යළි ජයගනී

පුවත්

විදෙස්

බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, හිටපු අගමැතිනී සීක් හසීනා නායකත්වය දරණ අවාමි ලීගය නැවත ජයග්‍රහණය ලබා තිබේ. ඒ අනුව සික් හසීනා එක දිගට 04වැනි වතාවටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වනු ඇත.

මෙම මැතිවරණය බංග්ලාදේශයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කර තිබුණු බැවින් අවාමි ලීගයට පහසු ජයක් හිමිවිය.  

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 ක් ඇති අතර ඉන් ආසන 50ක් කාන්තා නියෝජනය සඳහා වෙන්කර ඇත. මෙම මැතිවරණයේ  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණයෙන් ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී තිබිණි. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනාට තවත් වසර පහකට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

මැතිවරණයට පෙර, මාස ගණනාවක් තිස්සේ, බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි.

බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.

විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළේ කලීඩා ෂියාය. 2018 පෙබරවාරි 08 වැනිදා දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කලීඩා ෂියාට වසර 5 ක සිර දඩුවම් නියම විය. පසුව එය වසර 10 ක් දක්වා දීර්ඝ කෙරුණි. මේ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන කලීඩා ෂියා නිවාස අඩස්සියේ පසුවෙයි.

කලීඩා ෂියාගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ නායකත්වය බාර ගත් ඇගේ පුතා ටරීක් රෙහ්මාන්ට අපරාධ චෝදනා එල්ල විය. ඔහු අද ජීවත් වන්නේ බංග්ලාදේශයෙන් පිටුවහල් වී ලන්ඩන් නගරයේ ය.

ඊයේ ඡන්ද විමසීම් ආරම්භවීමටත් පෙර සිට ම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ කලහකාරී පිරිස් මගී දුම්රියකට පහර දී ඊට ගිනි තැබූහ. එයින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඡන්ද මධ්‍යස්ථාන කීපයකට කලහකාරී පිරිස් කඩා වැදී පහර දුන් බව ද වාර්තා විය. පොලිසියේත්, හමුදාවේත්, ලක්ෂ අටක පිරිසක්, මැතිවරණයේ ආරක්ෂාවට යොදවා තිබුණි.

(ඒ.එෆ්.පී.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!