5.6 C
New York

පන්ති පින්තාරුවට සල්ලි නොදුන් ළමයින්ට, පෙළ පොත් නොදෙන පාසලක්

Published:

පන්ති පින්තාරුකිරීම සඳහා රුපියල් 2,000.00 බැගින් ලබා නොදුන්නොත් පාසල් පෙළපොත් නිකුත් නොකරන බව සඳහන් කරමින් රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට වට්ස්ඇප් පණිවිඩයක් යැවීසිද්ධියක් වාර්තා වේ.

පාසල් සඳහා පෙළපොත් ලබා දෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නොමිළයේ ය. එම පෙළපොත් ලබාදීම සඳහා මුදල් එකතු කිරීම හෝ වෙනත් කාර්යයකට එකතු කරන ලද මුදල් ලබා නොදුන්නා යැයි පවසමින් පෙළපොත් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හෝ වරදකි. එය පාසල් සිසුන්ගේ අයිතිවාසිකම් අහිමිකිරීමකි.

මෙම විද්‍යාලයේ පන්තිකාමර පින්තාරු කිරීම සඳහා බව පවසමින් රුපියල් 1,000.00ක මුදලක් එකතු කිරීමට කටයුතු කර තිබූ අතර පසුව එය රුපියල් 2,000.00ක් දක්වා ඉහළ දමා ඇත.

එම රුපියල් 2.000.00ක මුදල ලබා නොදුන් ළමයින්ට පෙළපොත් ලබාදීමේ දී ප්‍රමුඛතාව හිමිනොවන බව පවසමින් වට්ස් ඇප් පණිවිඩ යොමුකර ඇත්තේ 8-9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන් වෙත බව ද වාර්තා වේ.

අප දන්නා පරිදි මේ පාසලේ සිසුවියෝ 4,700ක් පමණ ඉගෙනුම ලබති. එක් සිසුවියකගෙන් රුපියල් 2,000.00 බැගින් එකතු කළහොත් එකතුවන මුදල රුපියල් 9,400,000.00ක් හෙවත් කෝටියකට ආසන්න මුදලකි.

මෙවැනි මුදලක් එකතුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර දුන්නේ ද යන්න ගැටලුවකි. එවැනි අවසරයක් නැතිව මුදල් එකතුකර ඇත්නම් සහ මුදල් නොදුන් ළමයින්ට පෙළපොත් ලබා නොදෙන්නේ නම් වහාම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

මේ පිළිබඳ විමසීමට එම පාසලේ විදුහල්පතිනිය සම්බන්ධ කරගැනීමට අපි 0452222372 දුරකථන අංකයට ඇමතුම් ගත්ත ද එයට කිසිවකු ප්‍රතිචාර දක්වන්නේ නැත.

මේ සම්බන්ධයෙන් රත්නපුර ෆර්ගසන් උසස් බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනියට හෝ වෙත් අයකුට කරුණු දැක්වීමට අවශ්‍යනම් ඔවුන් සඳහන්කරන පැහැදිළි කිරීම් ඒ ආකාරයෙන් ම මේ පුවත හා සමාන ඉඩක් ලබාදෙමින් ප්‍රචාරය කිරීමට අපි බැඳී සිටින බව ද මෙහි සඳහන් කරන්නෙමු.

Related articles

Recent articles

spot_img