-0.7 C
New York

මන්ත්‍රීවරු, ඡන්දයට පෙර වාහන පර්මිට් ඉල්ලති

Published:

තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් මේ ඉල්ලීම කර ඇත්තේ රටේ ආර්ථිකය යම් පමණකට ස්ථාවර වී ඇති බව සදහන් කරමිනි.

එසේම මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් ද පසුගිය දිනවල විමසීම් කර ඇත. පාර්ලිමේන්තු ආරංචිමාර්ග අනුව මෙම ඉල්ලීම් කර ඇති මන්ත්‍රීවරුන් අතරින් වැඩි දෙනකු පාර්ලිමේන්තුවට පළමු වතාවට තේරී පත්වූ අයයි.

ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීම නිසා ඔවුන්ට වාහන ලබාගැනීමට නොහැකි වූ බව පවසයි. ඇතැම් මන්ත්‍රීවරු පවසා ඇත්තේ තවමත් තමන්ට ම කියා වාහනයක් නොමැතිවීම නිසා දැඩි දුෂ්කරතා අත්විඳින්නට සිදුව ඇති බවකි.

2024 දී ජනාධිපතිවරණය ද, ඉන් පස මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවන බැවින් මැතිවරණ කටයුතුවල දී යොදා ගැනීමට  වාහනයක ඇති අවශ්‍යතාව මේ මන්ත්‍රීවරු කතානායකවරයාට සහ මන්ත්‍රී සේවා අංශයට අවධාරණය කර ඇත.

තමන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන්නේ වාහන බලපත්‍ර ලබාදෙන නොදෙන තීරණය අනුව බව ද ඇතැම් මන්ත්‍රීවරු පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මීට පෙර හිමිවූ තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න විය. මේ අතර, මන්ත්‍රීවරු පිරිසක් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මිළඟ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

එම ගෘහ කාරක සභාව මාස තුනකින් රැස්වී නැත.

මුදල් අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමක දී දැනගන්නට ලැබුණේ මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක්  ගෙන නැති බවයි.

Related articles

Recent articles

spot_img