මේ දිනවල Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ රැල්ලක් බවට පත්ව ඇති #5differentlookchallenge හේතුවෙන් එම ඡායාරූප පරිගණක අපරාධකරුවන් අතට පත්වීමේ දැඩි අවධානමක් ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එකිනෙකාට සිදුකරන අභියෝගයක් ලෙස ආරම්භ වූ මෙය රැල්ලක් බවට පත්ව ඇතැයි ඔවුන් නිරීක්ෂණය කළ බවයි.
යම් පරිශීලකයකු තම ඡායාරූප ඉහත සඳහන් ටැගය යටතේ පළ කරන්නේ නම් ඔහු එය පොදු Public ක්‍රමයට පළ කර ඇත්නම් එම ටැගය හරහා එම ගිනුමට ප්‍රවේශවීමට පරිගණක අපරාධකරුවන්ට හැකිබව ඔවුන් අනතුරු හඟවයි.
මෙලෙස සමාජ මාධ්‍ය තුළ ආරම්භවන නව ප්‍රවණතා හඳුනාගනිමින් දත්ත එකතුකිරීමේ යෙදෙන කණ්ඩායම් හා සයිබර් අපරාධකරුවන් විසින් ඉතා පහසුවෙන් මෙම ටැගය භාවිතා කරමින් ඡායාරූප එකතු කරනු ලබයි. මෙලෙස එකතුකරන ඡායාරූප පසුව ව්‍යාජ ගිනුම් සැකසීම සඳහා මෙන්ම විවිධ වූ වෙබ් අඩවි සඳහා ද යොදාගැනීම සිදුවිය හැකි බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වාදෙයි.
තමන්ට මෙවැනි ටැගයක් යටතේ ඡායරූප හෝ වෙනත් තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්‍ය වන්නේ නම් එම පළකිරීම තමන්ගේ මිතුරන්ට පමණක් නැරඹිමට හැකිවන ලෙසත් පොදු ක්‍රමයට පළ නොකරන ලෙසත් තොරතුරු තාක්ෂණ සංගමය සමාජමාධ්‍ය පරිශිලනය කරනු ලබන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.