-2.5 C
New York

“පණු කරඳ” ගස කැපීමට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී

Published:

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධාවන බව කියමින් හොර රහසේම කපා වළදැමූ පණුකරඳ ශාකය සම්බන්ධ නඩු කටයුතු අවසන් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි ඊයේ (03) තීරණය කළාය.

දිසා වන නිලධාරී එම්.එම්.වරුණප්‍රිය අධිකරණයේ දී කියා සිටියේ “පණු කරඳ” ගස කපා වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව අවසන් කළාය.

මෙම ශාකය කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව නඩුව ගොනුකර තිබුණේ ද ගම්පහ දිසා වන කාර්යාලය විසිනි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ගේ අධීක්ෂණය යටතේ පසුගිය ජූනි මස 28 වැනිදා වළ දමා තිබූ පඩු කරඳ ගස යළි ගොඩ ගෙන ගම්පහ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් නැවත සිටුවනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී එම්.එම්.වරුණප්‍රිය නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ අවස්ථාවේදී පුරාවස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්දිනු ධීරසේකර කරුණු දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණ කියා සිටින්නේ මහ පුදුම කතාවක් යැයි කීය.

දුප්පත් මනුස්සයෙක් කැලේ ගහක ඇත්තක් කැපුවත් වන නිලධාරීන් එම පුද්ගලයාව කුදලගෙන ඇවිත් නඩු දාන මේ රටේ වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති දුර්ලභ ශාඛයක් හොර රහසේ කපාගෙන ගොස් වළ දැමීමේ බරපතල අපරාධයක් කළ අයට එරෙහිව දැමු පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා කියන්නේ පැහැදිලිවම අපරාධයක් යැයි කී නීතීඥ ලක්දිනු ධීරසේකර මෙය දේශපාන බලපෑම මත වන නිලධාරීන් කරන කටයුත්තක් යැයිද කීය.

මේ අවස්ථාවේදී නීතීඥ රොෂාන් කහටපිටිය වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ අපරාධය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවටද නඩු පැවරීමට පූර්ණ බලතල ඇති හෙයින් මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළත් කිසිම ප්‍රතිචාරයක් නැතැයිද අඩුම කරමින් එම නිලධාරීනුත් අධිකරණයට පැමිණ නැතැයි ද කීය.

වගඋත්තරකාර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා ද සිල්වා කරුණු දක්වමින් මෙම ගස නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද වී අති විශාල පාඩුවක් වී ඇතැයි කීවාය.

Related articles

Recent articles

spot_img