චාන්දනී කිරින්දේ විසිනි
ශ්‍රී ලංකාවේ රජය, එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක ජීවත්වීම සඳහා ඇති අයිතිය පිළිනෙ ඇතත්, ඊශ්‍රායල් රාජ්‍යය සමඟ සබඳතා ස්ථාවර මට්ටමින් තරමක් අඩුව මට්ටමක පවතින බව පෙනේ.
ශ්‍රී ලංකාව 2000 වසරේදී ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගත් නමුත් මෙරට රාජ්‍ය බලය දරන්නේ කවුරුන්ද යන්න මත දෙරට අතර සබඳතා වල තීව්‍රතාවය තීරණය වෙයි.
මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක එවැනි බැඳීම්වල විභවයන් දුටු නායකයෙකි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරානායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක පාලන කාලයේ දී ඊශ්‍රායලය සමඟ සබඳතා ඊශ්‍රායලය සමඟ සබඳතා අඩු මට්ටමකට පත්වූයේ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව නොබැඳි රාජ්‍යයක යන ප්‍රතිප්තියේ පිහිටමින් පලස්තීනය සහ අරාබි ලෝකය වෙනුවෙන් ප්‍රමුඛත්වය දීමට කටයුුතු කිරීම හේතුවෙනි.
1977 දී බලයට පත් ජේ.ආර්.ජයවර්ධනගේ රජය 1984 දී කොළඹ Israeli Interest Section (IIS) පිහිටුවීමට අවසර දුන්නා. IIS පිහිටුවීමේ දී ජයවර්ධනගේ අභිප්‍රායන් උතුරු නැගෙනහිර බෙදුම්වාදී යුද්ධයක් දියත් කරන දෙමළ කණ්ඩායම් අතර සටන්කාමීත්වය වර්ධනය වීමට බොහෝ සෙයින් හේතුවක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.
ඊශ්‍රායලය ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පුහුණු කළ අතර ශ්‍රී ලංකාවට ආයුධ අලෙවි කළේ ද උතුරේ වර්ධනය වන සටන්කාමී කණ්ඩායම් සමඟ සටන් කරමින් සිටි අවස්ථාවක දී. ි
නමුත් ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස 1988 දී ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසු දෙරට අතර සුහද සබඳතාව වේගයෙන් පළුදු වී ගියා. ඔහු 1990 දී IIS වසා දමා ඊශ්‍රායලය සමඟ සබඳතා නවතා දැමීමට කටයුතු කළා.
කෙසේ වෙතත්, එය ඊශ්‍රායලය සමඟ ප්‍රේමදාසගේ පරිච්ඡේදය අවසන් කළේ නැත. 1990 දී ඊශ්‍රායල බුද්ධි සේවයේ හිටපු ක්ෂේත්‍ර බුද්ධි නිලධාරියකු වූ වික්ටර් ඔස්ට්‍රොව්ස්කි විසින් රචිත By Way of Deception: The Making and Unmaking of a Mossad Officer නමැති ග්‍රන්ථයේ, ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ යොමු කිරීම් ප්‍රකාශනයේ අඩංගු චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන කොමිසමක් පත් කිරීමට ප්‍රේමදාස පොළඹවන ලදී.
මෙම චෝදනාවලින් සමහරක් බරපතල වූ අතර අනෙක් ඒවා හාස්‍යජනකයි. ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රමාණයේ යුද උපකරණ සපයා එහි පිරිස් පුහුණු කරන අතර ම, ඊශ්‍රායලය විසින් ම අවි ආයුධ සපයන අතර දෙමළ සටන්කාමීන් පුහුණු කරන බවට ද එම පොතේ ප්‍රකාශ ඇතුළත් වුණා. මේක කළේ දෙපාර්ශ්වය ම අනෙකා කරන දේ ගැන නොදැන. ඊශ්‍රායලය විසින් ශ්‍රී ලංකාවට වෙරළබඩ මුර සංචාරය සඳහා PT බෝට්ටු කිහිපයක් විකුණා ඇති අතර ඒ සමඟම දෙමළ සටන්කාමීන්ට රජයේ හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා PT විරෝධී බෝට්ටු උපකරණ සැපයූ සිද්ධියක් එහි සඳහන් වුණා.
තවද ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් ඊශ්‍රායල හමුදා කඳවුරුවල දී ත්‍රස්ත විරෝධී උපක්‍රම පිළිබඳව පුහුණු කර ඇත්තේ ශ්‍රී ලංකාව තුවක්කු, වෙඩි නොවදින කබාය සහ විශේෂ අත්බෝම්බ ඇතුළු ඊශ්‍රායල ආයුධ මිලදී ගන්නා බවට ඇති එකඟතාවයෙන් බවත් පොතේ සඳහන් වනවා.
මිලදී ගත් උපකරණ අතර විශාල PT බෝට්ටු හතක් හෝ අටක් ඇති බව ද සඳහන්. මහවැලි සංවර්ධන ප්‍රදේශයේ ව්‍යාපෘතියක් සඳහා ව්‍යාජ ශක්‍යතා වාර්තාවක් සකසා ඊශ්‍රායලයෙන් මිලදී ගන්නා ආයුධ සඳහා ඩොලර් මිලියන ගණනින් ලෝක බැංකුව සහ අනෙකුත් ආයෝජකයින් වංචා කිරීමට ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට උදව් කළ බවට චෝදනාවක් ද මේ පොතේ අන්තර්ගතයි.
මිල දී ගැනීම සඳහා රේඩාර් උපකරණ තක්සේරු කිරීමට බලා සිටි ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් කණ්ඩායමකට කතුවරයාම අනුයුක්ත කර ඇති බවත් අමුත්තන් රැවටීමට සැබෑ රේඩාර් උපකරණ වෙනුවට විශාල වැකුම් ක්ලීනර් පද්ධතියක් පෙන්වූ බවත් තරමක් හාස්‍යජනක ප්‍රකාශයක් ද දක්නට ලැබෙනවා.
ජනාධිපති ප්‍රේමදාස මහතා විමර්ශන කොමිසමේ ප‍්‍රධානියා ලෙස පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සොලිසිටර් ජනරාල් එස්.ඩබ්ලිව්.බී.වඩුගොඩපිටිය තෝරා ගත්තා. කොමිසම ඔස්ට්‍රොව්ස්කි සහ ලෝක බැංකු නිලධාරීන් ඇතුළු 100කට ආසන්න සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැණුනා. ඉහළ ආරක්ෂක අංශ සහ හමුදා නිලධාරීන්; එම සිදුවීම් වූ බව කියන විට ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි සහ ඊශ්‍රායලය සමඟ සමීප සබඳතා පැවැත්වූ බව වාර්තා වන ජනාධිපති ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන සෙසු සාක්ෂිකරුවන් අතර සිටියා.
රවී ජයවර්ධනගේ බිරිඳ වන පෙනි ජයවර්ධන ඊශ්‍රායලයට ගිය අවස්ථාවේ තමා ඇය සමඟ ගිය බව ඔස්ට්‍රොව්ස්කි සිය පොතෙන් හෙළි කළා. මෙම සංචාරය අතරතුර දී, ඔහු ඇයව කිතුනු ශුද්ධස්ථාන සහ වෙනත් වැදගත් ස්ථාන නැරඹීමට රැගෙන ගිය බව ඔහු පැවසීය. ඇයද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අයෙක්.
වඩුගොඩපිටිය ඔස්ට්‍රොව්ස්කි සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැනඩාවට යන අතරමගදී ඔහු ලන්ඩනයේ නැවතී සිටි අතර එහිදී ඔහු ජයවර්ධන යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ එක්සත් රාජධානියේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් සේපාල ආටිගල සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා. කෙසේ වෙතත්, වසරකට ආසන්න කාලයක් පුරා විමර්ශනයකින් පසුව, කොමිසම නිගමනය කළේ එහි සමහර සොයාගැනීම් සිත්ගන්නා සුළු වුවද, පොතේ ඇති බොහෝ චෝදනා සනාථ කළ නොහැකි බවයි.
ඔස්ට්‍රොව්ස්කි කොමිසම වෙත ඉදිරිපත් කළ සාක්ෂියේ දී, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් මෙන් ම දෙමළ කණ්ඩායම් දෙක ම ඊශ්‍රායලය විසින් පුහුණු කර ඇති බව ඔහු කියා සිටියා, නමුත් ඔස්ට්‍රොව්ස්කි සඳහන් කළ කාලය තුළ එනම් 1985 ජූලි මාසයේ දී පමණ ඊශ්‍රායලය කිසිදු අයුරකින් දෙමළ ත්‍රස්තවාදීන් පුහුණු කර ඇති බවට හෝ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් ඊශ්‍රායලයේ දී පුහුණුව ලබා නොමැති බවට කිසිදු සාක්ෂියක් නැතැයි බව කොමිසම නිගමනය කළේය.
රේඩාර් උපකරණ මිල දී ගැනීම සඳහා ඊශ්‍රායලයට ගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කණ්ඩායම ඊශ්‍රායල ජාතිකයන් විසින් රැවටීමට ලක් කර ඇති බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්, කතුවරයා කියා ඇති පරිදි කණ්ඩායමක් රේඩාර් නිෂ්පාදකයෙකු වෙත ගොස් ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම රැවටී ඇති බවට සැබෑ සාක්ෂියක් නොමැති බව කොමිසම සොයා ගෙන තිබුණා. කණ්ඩායමේ සාමාජිකයින්ට වැකුම් ක්ලීනර් හෝ රේඩාර් උපකරණ නොපෙන්වූ බවත් ඒ වෙනුවට හෙබ්‍රෙව් අක්ෂර සහිත නොතේරෙන ක්‍රමානුකූල චිත්‍ර කිහිපයක් පෙන්වූ බවත් කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. නිෂ්පාදකයාගෙන් රේඩාර් උපකරණ මිල දී ගැනීම නිර්දේශ කර නොමැති බව වාර්තාවේ සඳහන් ය.
මහවැලි සංවර්ධන ව්‍යාපෘති ප්‍රදේශයේ ශක්‍යතා වාර්තාවක් ව්‍යාජ ලෙස සකස් කර ලෝක බැංකුවට සහ අනෙකුත් ආයෝජකයින්ට ආයුධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන ගණනින් මුදල් වංචා කිරීමට ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට උදව් කළ බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායල විශේෂඥයන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කොමිසම අනාවරණය කළා.
ශ්‍රී ලංකාව මහවැලි “සී” ක්‍රමයේ පර්යේෂණාත්මක ගොවිපළක් සඳහා වාර්තාවක් සකස් කළ නමුත් ඒ සඳහා අරමුදල් ලබාදීමට ලෝක බැංකුව සම්බන්ධ වී නැහැ. අරමුදල් සඳහා යුරෝපීය ආර්ථික ප්‍රජාව වෙත ප්‍රවේශ වූ නමුත් ව්‍යාපෘතිය ආරම්භ නොවුණු බව සඳහන් වනවා.
මෙම ඊශ්‍රායල විශේෂඥයින් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව නොතිබූ බැවින් ඔවුන් දෙදෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට කොමිසමට නොහැකි වීම සිත්ගන්නා කරුණකි.
සාක්‍ෂි විභාගයේ දී හෙළි වූ එක් සිත් සසල කරවන කරුණක් වූයේ 1986 වසරේ දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශය මත ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් භාවිත කළ අවි තොගයක් මිලදී ගෙන ඇති බවයි. පාවිච්චි කරන ලද අවි ආයුධ මිලදී ගැනීමට එවකට යුද හමුදාපති ජනරාල් නලින් සෙනෙවිරත්න විරුද්ධ වූ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග නිසා එය නතර කිරීමට ක්‍රමයක් තිබී නැහැ.
ඒ වෙනුවට ආරක්ෂක පියවරක් ලෙස සෙනෙවිරත්න යුද හමුදා නිලධාරියෙකු, ආයුධ විශේෂඥයෙකු ඊශ්‍රායලයට යවා තොගය පරීක්ෂා කර තිබෙනවා. ඊශ්‍රායලයට පැමිණි විට, එම භාණ්ඩ තොගය දැනටමත් කන්ටේනර්වල අසුරා තිබූ බවත් එය නැව්ගත කිරීමට සූදානම් බවත් නිලධාරියාට පෙනී ගොස් ඇති කරුණක්. ඊශ්‍රායල නිලධාරීන් පරීක්ෂාව ගැන සතුටු නොවූ අතර එතරම් සහයෝගයෙන් කටයුතු කර නැහැ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිලධාරියා තමාට හැකි උපරිමයෙන් තොගය පරීක්ෂා කිරීමට සමත් වූ අතර සමහර ආයුධ ඇත්ත වශයෙන්ම දෝෂ සහිත බව සොයාගෙන තිබුණා.
කොමසාරිස්වරයා නිර්දේශ කළේ මින් ඉදිරියට ත්‍රිවිධ හමුදාව සඳහා භාවිත කළ අවි ආයුධ මිලදී නොගත යුතු බවයි. මෙම අවි මිලදී ගැනීම නිසා ශ්‍රී ලංකා සොල්දාදුවන්ට සිදුවන්නට ඇති හානිය සත්තකින්ම කිසිදා නොදන්නා කරුණක්.
කොමිසමේ ප්‍රතිවිපාක කුමක් වුවත්, ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා එතැන් සිට පුරෝකථනය කළ හැකි මට්ටමක පවතී. 2000 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත්වීමෙන් පසු සබඳතා ස්ථාවර වුණා. මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දහස් ගණනක් එහි සේවය කරන අතර රටවල් අතර කෘෂිකර්මය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පවතිනවා. ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සබඳතාවන් ශක්තිමත් කරගැනීමට සමත් වී ඇති අතර වර්තමානයේ දෙරට සමඟ සුහද සබඳතා පවත්වයි.
චාන්දනී කිරින්දේ යනු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ඉතිහාස තීරු ලිපි රචිකාවක් වන අතර ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු වාර්තාකරුවෙකි. [email protected] හරහා ඇයට සම්බන්ධ විය හැකිය.
Factum යනු www.factum.lk හරහා ප්‍රවේශ විය හැකි ජාත්‍යන්තර සබඳතා, තාක්ෂණික සහයෝගීතාව සහ උපාය මාර්ගික සන්නිවේදනයන් පිළිබඳ ආසියා පැසිෆික් කේන්ද්‍ර කරගත් චින්තන ටැංකියකි.
මෙහි ප්‍රකාශිත අදහස් කතුවරයාගේම වන අතර ඒවා අනිවාර්යයෙන්ම සංවිධානයේ අදහස් පිළිබිඹු නොකරයි.