spot_img
spot_imgspot_img

කුරුන්දි විහාරය සහ අවස්ථාවාදී දේශපාලනය

පුවත්

විදෙස්

රජ්නි ගමගේ සහ හරින්ද්‍ර දසනායක විසිනි

ඕනෑම ඓතිහාසික උරුමයක් ලෙසම, කුරුන්දිය පිළිබදව ද ඇත්තේ සංකීර්ණ සහ ඒකමානීය නොවන ඉතිහාසයකි. වර්තමාන කුරුන්දි පුරා විද්‍යා භූමිය පිහිටා ඇති භූමිය සහ ආශ්‍රිත ප්‍රදේශ හැඳින්වීමට විවිධ කාලවලදී සහ විවිධ ජන කණ්ඩාම් විසින් භාවිත කර ඇති විවිධ නම් දෙස බැලීමෙන්ම මෙය පැහැදිලි වෙයි. කුරුන්දි විහාරය, කුරුන්තූර්, කුරුන්තුර්මලෙයි, කුරුන්දවාශෝක-විහාර, පියන්කල්ලු සහ පියංගල සහ තවත් සිංහල සහ දෙමළ නම් බොහෝමයක් මගින් ම මේ සංකීරණ්ත්වය නිරූපනය කෙරෙයි.

වංශකතාවල එන කුරුන්දිය සහ සිංහල අනන්‍යතාවේ ද්‍රවශීලීබව

කුරුන්දවාශෝක විහාරය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන ඛල්ලාටනාග (ක්‍රි.පූ. 109-104) රජුගේ කාලය ගැන සඳහන් වන විට කුරුන්ඩි පිළිබඳ පළමු වාර්තාගත ඉතිහාසය මහාවංශයෙහි සඳහන් වේ. මෙයින් පසුව, චූලවංශය ජාවා වාර්ගික චන්ද්‍රභානු විසින් දිවයින ආක්‍රමණය කිරීම පිළිබඳ වාර්තාවේ කුරුන්ඩි ගැන සඳහනක් වෙයි. ඊට අනුව, චන්ද්‍රභානු විසින් පදි කුරුන්දි සහ අනෙකුත් ප්‍රදේශවල වාසය කළ ‘සිහළ’ ජනයා තමන් වෙත දිනා ගෙන, ‘ත්‍රිසිංහලය’ යටත් කර ගනු වස් සටන් කරන බවට තර්ජනය කළ බව සඳහන්ය.

මහාවංශය සහ චූලවංශය වැනි වංශකතා ලියැවී ඇත්තේ රාජකීය අනුග්‍රහය යටතේය. එබැවින් ඒවා අපක්ෂපාතී ඉතිහාස වාර්තා ලෙස නොව, රාජවංශවල ආධිපත්‍යය තහවුරු කිරීමේ ලේඛන වර්ගයක් ලෙස සැලකීම වඩාත් යෝග්‍ය වේ. එහෙත් කුරුන්දි වැනි ඓතිහාසික සංසිද්ධීන් තේරුම් ගැනීමට වැදගත් තොරතුරු මේ වංශකතා මගින් සපයා දෙනු ලබයි. නිදසුනක් වශයෙන්, ඉහත චූලවංශ වාර්තාවෙන් ඇඟවෙන්නේ පදි (වර්තමාන පදවිය ප්‍රදේශය විය හැකිය) සහ කුරුන්දි (වර්තමාන කුරුන්තුමලෙයි ප්‍රදේශය විය හැකිය) ප්‍රදේශයල විසූ ‘සිංහල’ ජනයා එවක රට පාලනය කළ සිංහල රජකු වූ IV විජයබාහු රජුට එරෙහිව චන්ද්‍රභානුගේ හමුදාවට එක් වූ බවයි. චන්ද්‍රභානු යනු යාපනයේ කෙටිකාලීන රාජධානිය පිහිටුවා, බුද්ධාගමට අනුග්‍රහය දැක්වූ සහ දළදා වහන්සේ තම භාරයට ගනිමින් ‘තිසිහල’ (ත්‍රි-සිංහලය, එනම් මුළු දිවයිනම) අත්පත් කර ගැනීමට අභියෝග කළ ජාවා ජාතික ආක්‍රමණිකයෙකි. අද වන විට, සිංහල වීම සිය සිය ප්‍රමුඛතම සාමූහික අනන්‍යතාවය ලෙස බොහෝ දෙනා සැලකුවද, සිංහල අනන්‍යතාව යනු සෑම විටම නොවෙනස්ව හෝ එක්සත්ව පැවතිය දෙයක් නොවන බව ඉහත නිදසුනෙන් පෙනේ.

විජිත යුගයේදී යළි කුරුන්දිය ‘යළි’ සොයා ගැනීම

මෙයින් පසු, කුරුන්දි අඩවිය පිළිබඳව 1895 දී පමණ බ්‍රිතාන්‍ය නිලධාරියෙකු සහ උතුරු පළාතේ දිසාපති ලෙස කටයුතු කළ ජේ. පෙන්රි ලුවිස් විසින් වාර්තා කර තිබේ. ඔහු සම්පාදනය කළ වන්නි දිස්ත්‍රික්කය පිළිබඳ අත්පොතෙහි, බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ හෙන්රි පාකර්ගේ කුරුන්තනූර්මලේ නටබුන් පිළිබඳ විස්තරය හමු වෙයි. පාකර් පවසන පරිදි මෙම ස්ථානය බුදුන් වහන්සේගේ දෙවන ශ්‍රී ලංකා සංචාරයේදී වැඩම කළ ස්ථානයක් ලෙස ප්‍රදේශවාසීන් සැලකූ බව සඳහන් වෙයි. පාකර්ගේ විස්තරය අනුව, කුරුන්දි භුමියේ විශාල සෙ සෙල්ලිපියක් තිබී ඇති අතර, නටබුන්ව ගිය දාගැබක් ද, තවත් ගඩොල් ගොඩක් ද තිබේ. මීට අමතරව, එම ස්ථානයේ ගොනකුගේ රූපයක් සහ වෙනත් හින්දු ගල් කැටයම් පවතින අතර පාකර් විසින් ඒවා දෙමළ ආක්‍රමණයෙන් පසු ඉදිකරන ලද හින්දු කෝවිලට අයත් ඒවා බව අනුමාන කරයි.

ඉන් අනතුරුව, බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් විසින් 1905 දී “ලංකා පුරාවිද්‍යා සමීක්ෂණය – උතුරු-මැද, මධ්‍යම සහ උතුරු පළාත්” ග්‍රන්ථයෙහි කුරුන්දි හෝ කුරුන්තූර් පිළිබඳ වාර්තාවක් හමු වන නමුත්, පාකර්ගේ වාර්තාවේ සඳහන් ස්ථානය සහ බෙල් පසුව ගියා යැයි කියන ස්ථානය එකක්මද යන සැකය මතු වෙයි. බෙල් විසින් එම ස්ථානයෙන් සොයාගත් දේ පාකර්ගේ වාර්තාව සමග නොගැලපේ. නිදසුනක් ලෙස, බෙල් හට ශිලා ලේඛනයක් සොයා ගැනීමට නොහැකි වූ අතර, බෙල් දුටුවේ පාකර් වාර්තා කළා මෙන් නටබුන්ව ගිය ස්ථානයක් නොව, යහපත් ලෙස සංරක්ෂණය වී පැවතුණු භූමියකි. කෙසේ වෙතත්, මේ වාර්තා දෙකෙන්ම කරුණු දෙකක් සනාථ කරයි. පළමුව, බෙල් තහවුරු කරන පරිදි, නටබුන් “නිසැකවම බෞද්ධ” විය. දෙවනුව, මෙම බෞද්ධ නටබුන් ප්‍රදේශයේ හින්දු කෝවිල්වලට පෙර ඉදිව තිබූ බව නිර්ණය කෙරේ. විජිත යුගයේ මෙකී වාර්තා මගින් ප්‍රධාන අදහස් කිහිපයක් අනුමාන කළ හැකිය.

පළමුව, වංශකතාවල සඳහන් සහ බුදුන් වහන්සේ වැඩම කළා යැයි සැලකෙන ස්ථානය කුරුණ්දිය බවට ස්ථිර සාක්ෂි ලෙස බෞද්ධයන් විසින් මෙම භූමිය සැලකුවද, ඓතිහාසික ග්‍රන්ථවල සාකච්ඡා කර ඇති කුරුන්දි විහාරය මෙම ස්ථානය ම බව කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මගින් මෙතෙක් ඔප්පු වී නොමැත. එකී ස්ථානය ගොඩ නැගීමට භාවිත වූ ගෘහ නිර්මාණ ශිල්ප, භූමි උපයෝගීතා ක්‍රම ආදිය පිළිබඳ නිසි පුරා විද්‍යාත්මක දැනුමක් නැති අවස්ථාවක, එම ස්ථානය ‘ප්‍රතිසංස්කරණ’ මුවාවෙන් එක් පාර්ශවයකගේ අභිමතය පරිදි යළි ඉදිකිරීම ප්‍රශ්නය තවත් උග්‍ර කිරීමටත්, බලවන්තයාගේ කතාව සත්‍යය ලෙස ස්ථාපිත කිරිමටත් ඉවහල් වේ.

දෙවනුව, කුරුන්දි පුරා විද්‍යා භූමිය පිලිබඳ විවාදය ස්වෛරීභාවය සහ ‘නිජබිම්’ පිළිබඳ වෙනත් සංකීර්ණතා ද නිරාවරණය කරයි. දැනට පවතින වාර්තා අනුව, මෙම භූමියේ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සිදු ව ඇත්තේ, එහි හින්දු පූජනීය ස්ථාන ඉදිකිරීමට පෙර බව පෙනෙන්නට තිබේ. එය ඇතැම් දෙමළ වාර්ගික-අන්තවාදීන් පවසන ‘සාම්ප්‍රදායික දෙමළ නිජබිමක්’ පිළිබඳ අදහසට පටහැනි වේ. කෙසේ වෙතත්, මෙය ඉතා සූක්ෂමව සැලකිය යුතු කරුණක් වන්නේ, මෙවන් ශාස්ත්‍රීය තර්කයක් පවා, සිය දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් භාවිත කිරිමට සිංහල අන්තවාදී කණ්ඩායම් ද නිරතුරුව සූදානම්ව සිටින බැවිනි. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියන් ආදීන්ගේ මෑත කාලීන ප්‍රකාශ ඇසුරින් පෙනෙන්නේ භූමිය සඳහා ඇති වාර්ගික සටනේ කොටසක් ලෙස කුරුන්දි භූමිය භාවිතා කිරිමයි.

තෙවැන්න, බෙල් විසින් කරන ලද වාර්තාවල මෙය බෞද්ධ පූජා භූමියක් ලෙස සඳහන් කරන අතරම තැනින් තැන, එය ‘සිංහල’ පූජා ස්ථානයක් ලෙස ද සඳහන් කරයි. මෙය විජිත සමයේදී සියලු ජන කොටස් යම් වාර්ගිකත්වයකට ඌනනය කිරීමේ ක්‍රියාවලිය මැනවින් ප්‍රදර්ශනය කරයි. දෙමළ බෞද්ධ ජනතාවක් සිටි බවට පවතින සාක්ෂි මගින් සියලු බෞද්ධයන් නම් සිංහයලයන් විය යුතුය යන උපකල්පනය නිශේධනය කොට තිබේ. මෙහි වැදගත්කම නම්, නිදහසින් පසුව කාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රධාන බෙදීම් තීරණය වූයේ ජන වර්ගය අනුව වීමයි. කුලය, ආගම, ප්‍රදේශය, සහ දේශපාලන දෘෂ්ටිය ආදී අනෙකුත් සාධක බලපෑවද ප්‍රධාන වශයෙන් දේශපාලන තේමා සහ හෙට්ටු කිරීම් වර නැගුණේ ජන වර්ගය වටාය. මෙසේ ජන වර්ගයට ප්‍රමුඛතාව ලැබීම විජිත පාලන ක්‍රමය තුළ භාවිත කරන ලද සංගණන සහ ඉඩම් අයිතිය පරිපාලනය කිරීම ආදිය මගින් සිදු කෙරුණක් බව අවබෝධ කර ගැනීම වර්තමාන දේශපාලන අර්බුද විසඳා ගැනීම පිණිස වැදගත් වේ. 

“ඔබේ ස්මාරකය – අපේ සිද්ධස්ථානය“

විජිත යුගයේ මීළඟ ප්‍රධාන සිදුවීම වූයේ පුරාවස්තු ආඥාපනත යටතේ 1933 මැයි 12 දින ප්‍රකාශයට පත් කරන ලද අංක 7981 ගැසට් පත්‍රය මගින් කුරුන්දි භූමිය අවට අක්කර 78ක් ප්‍රදේශයක් ආරක්ෂිත පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. 2013 අගෝස්තු 16 වන දින මෙම ප්‍රදේශය නැවතත් ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.  යම් ස්ථානයක් ආරක්‍ෂිත පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලන ප්‍රවේශයේ කොටසකි. යම් ආගමික වැදගත්කමක් සහිත ස්ථානයක් එම ආගමික ප්‍රජාවෙන් වෙන් කොට තැබීම හෝ ඔවුන්ගේ පුද පූජා කිරීමේ අයිතියෙන් පැහැර ගැනීම ප්‍රචණ්ඩත්වයකි.

නිදසුනක් වශයෙන්, පැරණි ආගමික ස්ථානයක් සියවස් ගණනාවකට පසු නැවත සොයා ගන්නා විට, මිනිසුන් එයට බොහෝ සංවේදී හා අධ්‍යාත්මික වටිනාකමක් ලබා දෙයි. මෙය බෞද්ධ සහ හින්දු ප්‍රජාවන් දෙකටම පොදු වන අතර, කිසිම ප්‍රජාවකට අනෙක් ප්‍රජාවකට වඩා එය ස්ථානයට බැඳිමක් හෝ භක්තියක් ඇතැයි සිතීම වැරදිය.

එනිසා, බෞද්ධ හෝ හින්දු ඇදහිලිවන්තයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන විට හෝ ආගමික චාරිත්‍රයක් ඉටු කරන විට, එය හුදෙක් වෙනත් ආගමක් සමඟ තරඟයක් පමණක් නොවේ. පසුගිය සති දෙක තුළ අප දුටුවේ, කුරුන්දි භූමියේ පූජා පැවැත්වීමට පැමිණි හින්දු කණ්ඩායම් දෙකක් ඒවා පැවැත්වූ අන්දමයි. එක් කණ්ඩායමක් සිට පූජා පවැත්වීමේදී බෞද්ධ භික්ෂූන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ බාධා කිරීම්වලට සහ විසිරුවාහැරීමට භාජනය විය. අනෙක් කණ්ඩායම උග්‍ර හින්දු ආගමික අන්තවායක් නියෝජනය කරන කණ්ඩායමක් ලෙස සැලකෙන මුත්, ඔවුන් පුරා විද්‍යා නිලධාරීන් හා භික්ෂූන් සමග සහයෝගයෙන් සිය ආගමික චාරිත්‍ර ඉටු කරනු වාර්තා විය. මේ විවිධ සිදු වීම් මගින් අපට පෙන්වා දෙන්නේ, ඇදහීම හුදෙක් තරගයක් ලෙසම පමණක් සිදු නොවන බවයි.

ආගමික ප්‍රජාවන් හට තම ආගමට අදාළ පූජ්‍යස්ථානයක් පිළිබඳව ඇතිවන හැඟීම සහ භක්තිය යටත් විජිත පාලන ක්‍රමය තුළ හඳුනා ගැනුණේ නැත. සුප්‍රසිද්ධ සිම්බාබ්වේ පුරාවිද්‍යාඥ වෙබ්බර් එන්ඩෝරෝ, උරුම කළමනාකරණය සඳහා වූ යටත් විජිත ප්‍රවේශයේ මෙම පරස්පරය සරල ලසෙ මෙසේ විස්තර කරයි: “ඔබට එය ස්මාරකයකි – අපට එය සිද්ධස්ථානයකි”.

කෙසේ වෙතත්, කුරුන්දි පුරා විද්‍යා භූමිය බෞද්ධ භික්ෂුවකගේ භාරයට පත් කිරීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන ඇති තීරණය ගැටලුසහගතය. එක් අතකින්, කුරුන්දිය එක් ආගමික ප්‍රජාවකගේ අධිකාරියට යටත් කරන අතර අනෙක් අතට, දැනට වාසස්ථාන හෝ පූජා සම්ප්‍රදායක් නොමැති තැනක් ආගමික නායකත්වයක් යටතට පත් කිරීමෙන් පවතින පුරා විද්‍යා පනත උල්ලංඝනය නොමැති වන්නේ කෙසේ දැයි විමසා බැලිය යුතුය.

උරුම කළමනාකරණය සහ ඉඩම් අයිතිය

වර්ෂ 2013 ගැසට් පත්‍රය පෙන්වා දෙන්නේ නිදහසින් පසුව ද, යටත් විජිත යුගයේ ප්‍රවේශයෙන් බැහැර වීමට රාජ්‍යය අසමත් වූ බවයි. නිදහසෙන් පසුව දි සිදු කෙරුණේ ජාතිය ගොඩ නැංවීම පිණිස අතීත උරුමය සොයා යමයි. මේ බව තහවුරු කරන්නේ වර්ෂ 1964 දී එල්ලාවල මේධානන්ද හිමියන්ගේ කුරුන්දිය පිළිබඳ සටහන්ය. කුරුන්දියේ ඇති බෞද්ධ සිද්ධස්ථානයේ අබලන් ස්වභාවය ගැන මේධානන්ද හිමියන් විස්තර කරයි. උන්වහන්සේ පසුව ජාතික හෙළ උරුමය නමැති බෞද්ධ ජාතිකවාදී දේශපාලන පක්ෂය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසිහ. 2020 වර්ෂයේදී උන්වහන්සේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයකු ලෙස පත් කරන ලදී. පුරාවිද්‍යා කාර්ය සාධක බළකාය පිහිටුවන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. හුදෙක් සිංහල බෞද්ධ නියෝජයක් සහිත වූ මෙම කාර්ය සාධක බලකාය උතුරු-නැගෙනහිර පළාත් ‘සිංහලකරණය’ ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් ලෙස විවේචනයට ලක් වීම පුදුමයක් නොවේ. ඊට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් නම් දැනට පවතින සිංහල බෞද්ධ ආධිපත්‍යය ව්‍යුහාත්මකව තහවුරු කිරීම ඉලක්ක කරගත් නවතම මෙවලමක් බවයි.

මේධානන්ද හිමියන් මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දන්වා සිටියේ කුරුන්දි විහාරයට අයත් නොවන, කුරුඳු විහාරය ආසන්නයේ පිහිටි ඉඩම් සමහරක් පුරාණ බෞද්ධ ආරාමවල නටබුන් තවමත් පවතින බැවින් “අහඹු ලෙස” මහජනතාවට බෙදා නොදිය යුතු බවයි. කුරුන්දි විහාරය ආශ්‍රිත ඉඩම් බෙදා දීමට රජයේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඊට රජය විසින් ලබා දුන් නිල ප්‍රතිචාරයෙන් කියැවිණි.

උක්ත ලිපියට පාදක වූයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ රැස්වීමකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපතිවරයාට කියා සිටියේ කාර්ය සාධක බලකායේ සොයාගැනීම්වලට අනුව ඉඩම් අක්කර 270ක් (වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට සහ වනජීවී දෙපාර්තමේන්තුවට අයත්) පුරාවිද්‍යා භූමියක් ලෙස පවරා ගැනීමට සැලසුම් කර ඇති බවයි. උරුම කළමනාකරණය වැදගත් වන්නා සේම ජනතාවට සිය ජන ජීවිතය පවත්වාගෙන යාටම ඉඩ දීමේ වගකීම රාජ්‍යය සතු වේ.

දේශපාලන තරගය සහ කුරුන්දිය

කුරුන්ඩි ප්‍රශ්නයට අදාළව දිග හැරෙන සිදුවීම්වල දේශපාලන අදාළත්වය පිළිබඳ අනුමාන කිහිපයක් කළ හැකිය.

පළමුව, දෙමළ දේශපාලන පක්ෂවල විශ්වාසය දිනා ගැනීමට සහ සිය සුළු ජාතික ඡන්ද පදනම වර්ධනය කර ජනාධිපතිවරයා දරන ​​උත්සාහය පුදුමයට කරුණක් නොවේ. මේ වසර මුලදී නිදහස් දිනය වන විට ජාතික ප්‍රශ්නය විසඳන බවට ජනාධිපතිවරයා මීට පෙර පොරොන්දු විය. රාජපක්ෂ දේශපාලන කඳවුර මෙන් නොව ජනාධිපති වික්‍රමසිංහ සෑම විටම සුළු ජාතීන්ට වඩා දැඩි ලෙස මිත්‍රශීලීව කටුයුතු කරන බව පෙන්වීට උත්සහ කරයි.  කෙසේ වෙතත්, වර්තමාන ආණ්ඩුව පිහිටුවීම සඳහා රාජපක්ෂවරුන් සහ ජනාධිපතිවරයා අතර ඇති වත්මන් සන්ධානය සැලකිල්ලට ගත් විට, මෙම ඡන්දදායකයින් කොටස (අවම වශයෙන් මේ මොහොතේ) සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට වැඩි ඉඩක් ඇත. එබැවින් ඔවුන් දිනා ගැනීමට නම්, සුළු ජාතීන්ට සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට හුදු සංකේතාත්මක මිත්‍රත්වයක් පෑමට වඩා වැඩි යමක් කිරීමට සිදුවනු ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට (පොලිස් බලතල නැතිව) ජනාධිපතිවරයා කළ යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් තරයේ ප‍්‍රතික්ෂේප කිරීම තුළින් මෙම ආතතීන් පැහැදිලි වේ.

දෙවනුව, ජනාධිපතිවරයාගේ කුරුන්දි ප්‍රතිචාරය දැනට සිංහල බෞද්ධ ජාතිකවාදී ජනතාව අතර නායක්තවය ගනීමට තරග කරන දේශපාලන කණ්ඩායම්වලට යළි කරලියට ඒමට ඉඩක් සලසා දුන්නේය. කුරුන්දි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර, සරත් වීරසේකර, චන්න ජයසුමන යන මන්ත්‍රීවරු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටියහ. උදය ගම්මන්පිල ඇතුළු උත්තර ලංකා සභාගය පිහිටුවා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිඳී ගිය කණ්ඩායමේ මන්ත්‍රීවරු කුරුන්දි පුරා විද්‍යා භූමියේ සංචායක් සඳහා ද ගියහ. ගම්මන්පිල මහතා දෙමළ දේශපාලනඥයන් සහ සාමාන්‍ය දෙමළ ජනතාව අතර ඇති පරතරය විවේචනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රටේ උරුමය සහ ජාතික සමගිය තර්ජනයට ලක්ව ඇතැයි චෝදනා කළේය. උරුම ස්ථාන හැර වෙනත් තැන්වල සිය ගොවිතැන කළ යුතු බවට ප්‍රදේශයේ දෙමළ වැසියන් තමා සමග පැවසූ බව ඔහු ආඩම්බරයෙන් කීවේය. ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය ඔවුන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස සැලකිය හැකිය.

තෙවනුව, ජුනි 22 පාර්ලිමේන්තු රැස්වීමේදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කුරුන්ඩි ප්‍රශ්නය ගැන කතා කළේය. පොන්නම්බලම් කියා සිටියේ සිවිල් යුද්ධයේදී ඉඩම් මිලිටරීකරනය කිරීම, රාජපක්ෂ පාලන සමයේදී දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල සිංහල ඉඩම් ජනපදකරණ ව්‍යාපාරය වේගවත් වීම පිළිබඳවය. කුරුන්දිය බෞද්ධ පුරාවිද්‍යා භූමියක් බව ප්‍රතික්ෂේප නොකරන මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ, හමුදාවට මෙම ස්ථානයේ චෛත්‍යයක් ඉදිකිරීමට දීමෙන් එම ස්ථානය සංරක්ෂණය කිරීමේ අධිකරණ නියෝග කෙරෙන බවයි. දෙමළ ප්‍රජාවන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හමුදාව විසින් අතීතයේදී සිදු කළ බව පැවසූ මන්ත්‍රීවරයා,  මේ වන විට උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලකෑම් සහ ජනපදකරණය දිගටම කරගෙන යාමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉඩ ලැබී ඇති බවත්, බුද්ධාගම ඊට ආයුධයක් ලෙස භාවිත කෙරෙන බවත් ඔහු නිරීක්ෂණය කරයි.

සිව්වනුව, කුරුන්දි පුරවිද්‍යා භූමිය ‘යළි ගොනැගීම’ යනු හුදෙක් ආගම් හෝ ප්‍රජාවන් දෙකක් අතර තරගයක් පමණක් නොව, එකී ප්‍රජාවන්හි අභ්‍යන්තර තරගකාරීත්වයේ විවිධ පැතිමානයන් ද හෙළ කරයි. කුරුන්දි විහාරයේ ප්‍රධාන ගිහි අනුග්‍රාහකයන් සහ සංවිධාන සහ කුරුන්දි යළි ගොඩ නැගීමේ ප්‍රයත්නය පිටුපස සිටින විවිධ භික්ෂූන් සමීපව නිරීක්ෂණය කිරීමෙන් පෙනී යන්නේ සිංහල සමාජයේ කුල තරඟය තවමත් අවසන් වී නැති බවත්, සමහර බෞද්ධ නිකායන් සිය ව්‍යාප්තවාදී ව්‍යාපෘතිය තුළ වඩාත් අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවත් ය.

සමාලෝචනය

කුරුන්තුමලේ සිවන් අයියර් කෝවිලේ හින්දු බැතිමතුන් ආගමික වතාවත් පැවැත්වීම වැලැක්වීමට පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් කටයුතු කළ බව පසුගිය සතියේ වාර්තා විය. ඉන් අනතුරුව, මාධ්‍යවේදී විජයරත්නම් සරවනන් විසින් වවුනියාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. කුරුන්දි පිළිබඳ සංකීර්ණතා තවදුරටත් විකාශනය වෙමින් පවතින ඒවාය. ඒවා කළමනාකරණයේදී රජය සහ අදාළ බලධාරීන් ඉතා සංවේදී වීම අවශ්‍ය වේ.

‍එමෙන්ම, වරක් ආගමික ස්ථානයක් වූ භූමියක් එය දැන් පවතින තත්ත්වය කුමක් වුවත් සැමවිටම ආගමික ස්ථානයක් බව අප සිහිපත් කර ගත යුතුය. බොහෝ විට, කැලෑවෙන් වැසී ගොස් තිබූ පූජනීය ස්ථානයක් නැවත සොයා ගැනීමෙන් ඇදහිලිවන්තයන්ගේ ආශාව හා බැඳීම වැඩි වන බව පෙනේ. මෙය බෞද්ධ හා හින්දු බැතිමතුන් සියලු දෙනා හට මෙය පොදු වන අතර ඔවුන්ට එය හුදු පුරා විද්‍යා භූමියක් පමණක් නොවේ. මේ හැඟීම් හේතුවෙන්, බොහෝ සංකීර්ණතා සහ සංවේදීතා ඇතිවේ. ඇතැම්විට ගැටුම්වලට මුල් වන්නේ මෙවන් පූජනීය හැඟීම්ය.

තවද, බොහෝ දෙමළ නායකයින් ද ප්‍රකාශ කර ඇති පරිදි, නිසි පුරාවිද්‍යා සමීක්ෂණ සිදු කර කුරුන්දිය ජාතික උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම වැදගත් වේ. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි සොයා ගන්නා තෙක් ‘ප්‍රතිස්ථාපන’ කිරීමේ නාමයෙන් ආගමික ආධිපත්‍යය පැතිරවීම නැවැත්විය යුතුය. උතුරේ බෞද්ධ පුනරුදයක් සඳහා ඇති වර්තමාන නැඹුරුව උතුරේ ජනතාවගේ ඇසින් බැලූ විට පෙනී යන්නේ,  රාජ්‍ය හමුදා, රජයේ නිලධාරී තන්ත්‍රය සහ ජනප්‍රිය බුද්ධාගම උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල එකමුතුව ක්‍රියා කරමින් එකී ප්‍රදේශවල ජනතාව පෙළන අන්දමයි. දෙමළ ජනයාගේ මෙම අත්දැකීම් හේතුවෙන්, තම ප්‍රදේශ සිංහලකරණය වීම පිළිබඳ බියක් වර්ධනය වනු ඇත. වඩාත් භේදකාරී දෙමළ වාර්ගික-ජාතිකවාදී කණ්ඩයම්වලට එය තම භේදකාරී දේශපාලනයට තෝතැන්නක් නිර්මාණය කරයි.

මේ අතර, සමහර සිංහල වාර්ගික-අන්තවාදීන්ට ඇති ගැටලුව නම්, කුරුන්දි ප්‍රශ්නය වටා සිංහල බෞද්ධ හැඟීම් ඔවුන් සිතූ තරම් ප්‍රබලව බලමුලු ගැන්වීමට නොහැකි වීමයි. කෙසේ වෙතත්, බහුතර සිංහල-බෞද්ධයන් සතුව නිලීනව පවතින සුලුතර මානසිකත්වය අවුස්සන්නට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයකුගේ හෝ ඉහළ පෙළේ දේශපාලනඥයකු විසින් කරන ‘හිත් රිදවන’ ප්‍රකාශයක් හෝ දෙකක් පමණි. ඒ නායකයන් සිදු කරන්නේ කුරුන්දි වැනි ගැටලු පෙන්වා මේ අවස්ථාවේදී සිදු කෙරෙන සෑබෑ ලෙස භයානක ප්‍රතිසංස්කරණ හෝ ආර්ථික අර්බුදය කෙරෙන් ජනතා අවධානය වෙනතක යොමු කිරීමට නම් එය ඉතා අමනෝඥ ක්‍රියාවකි. බල ලෝභී අන්තවාදීන් ‘බෞද්ධයිනි නැගිටිව්! – කුරුන්දිය බේරා ගනිව්!’ යැයි කෑ මොර ගසන දිනය වැඩි ඈතක නොවනු ඇත.

(මෙම ලිපිය මුලින්ම පළ වූයේ අනිද්දා පුවත්පතේය, 2023 ජූලි 28 වෙනිදා.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!