“පාලකයනි, කැටයම් එපා. පෙට්ටියක් විතරක් දෙන්න” – මළ සිරුරක කතාව

0
264

පුද්ගලයකු මියගිය විට මිය යන තැනැත්තාට ගෞරවාන්විත අවසානයක් ලබාදීම මානව වර්ගයාගේ ආරම්භයේ සිටම පැවත එන්නකි. මළ සිරුරු බහාලන කැටයම් සහිත පෙට්ටි භාවිතයට පැමිණියේ දී මේ හේතුවෙනි.

නමුත් 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය හමුවේ මෙරට දහස් සංඛ්‍යාත පිරිසකට මිනී පෙට්ටි නොමැතිව යන්තම් ඉටි කොලයක එතී මිහිදන් වන්නට සිදුවිය.

මේ වනවිට නිර්මාණය වෙමින් තිබෙන්නේ ද එවැනිම තත්ත්වයකි. කොරෝනා ආසාදිත වී රෝහල්වල දී මියයන ප්‍රමාණයටත් වඩා වැඩි පිරිසක් නිවෙස්වල සිට රෝහලට ගෙන එන අතරතුර හෝ නිවසේ දී ම හෝ මියයන බව වාර්තා වෙමින් තිබේ. එමෙන්ම මහ මඟ හමුවන නන්නාදුනන මළ සිරුරු පවා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙවන් වාතාවරණයක දී කැටයම් කපා ඔපවත් වර වැඩ දැමූ පෙට්ටි නොව ආදාහනයට ගෙන යන සිරුරු සඳහා සාමාන්‍ය ලෑලි පෙට්ටියක් හෝ ලබා ගැනීම අපහසු වෙමින් තිබේ.

ඇතැම් විට පුද්ගලයකු මියයන විට ඔවුන්ගේ සමීපතම ඥාතීන් නිරෝධායනයට ලක්කර තිබේ. බොහෝ දෙනකු අත මුදල් නොමැත. එමෙන්ම කොරෝනා මරණ සම්බන්ධ අවසන් කටයුතු කිරීමේ දී ඇතැම් මල් ශාලා විසින් අධික මුදලක් අයකිරීමේ ගැටලුවක් ද මතු වී ඇත. ඇතැම් විටෙක මල් ශාලාවෙන් ලෑලි කිහිපයක් සවිකර තනා දෙන පෙට්ටිය ද අය කරන මුදලට වටින්නේ නැත. එය ශක්තිමත් බවක් ද නැත.

එම මෘතශරීර ප්‍රවාහනය සඳහා ජාතික රෝහල මගින් යොදවා ඇති ගිලන් රථයේ රියැදුරු මහතා සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනා මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘතශරීර විච්ඡේදන ශිල්පීන් හටද එම කාර්යය සම්පූර්ණ වන තුරු බොහෝ වේලාවක් ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ ගෙන අපහසුවෙන් සිටීමට සිදුව ඇත.

සියලු මෘතශරීර මෘතශරීර බහාලුමක තැන්පත් කොට ඇති නිසා විෂබීජ පරිසරයට නිරාවරණය වීමක්ද සිදු නොවෙයි. අඩු වියදමකින් සංවෘත ශක්තිමත් පෙට්ටියක් ඉකිමනින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් රජය සම්බන්ධ වී ටෙන්ඩර් පරිපාටියක් තුලින් මල් ශාලාවකට ලබාදීම හෝ එම කාර්යය යම් පරිත්‍යාගශීලි ආයතන හා පුද්ගලයින් වෙතින් සිදු කර ගැනීමේ හැකියාවක් තිබේ නම් හෝ මෙම අවස්ථාවේදී කළ හැකි මහඟු පුණ්‍යකර්මයක් මෙන්ම එම මිය යනු ලබන පුද්ගලයින් වෙත පුද කරනු ලබන ගෞරවයක්ද වනු ඇත.

මෙහි තිබෙන ගැටලුව වන්නේ පෙට්ටිය වත් පෙට්ටියේ කැටයම් නැති වීම වත් නොවෙයි. නාඳුනන පුද්ගලයෙකුගේ මෘතශරීරයක් වත් ආදාහනය සඳහා රැගෙන යාමට පෙට්ටියක් ලබා දීමට කිසිදු වගකිවයුතු අංශයක් විසින් තවමත් පියවර නොගැනීමයි..

පෙට්ටි නොමැතිව ආදාහනාගාර මගින් ආදාහන කටයුතු සඳහා මෘතශරීර බාරගැනීම සිදු නොකරන බැවින්,

ඉක්මන් විසඳුමක් නොලද හොත් ඉදිරියේදී මෙම තත්වය වඩ වඩාත් ගැටලුසහගත වනවා නොඅනුමානය. මේ තත්ත්වය දැන් දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. කොල්ලුපිටියේ දී මියගිය නාදුනන පුද්ගලයාගේ සිරුර ආදාහනයට යැවුණේ මීට පෙර හඳුනානොගත් මළ සිරුරු භූමදාන කිරීම සඳහා ගෙනවිත් තිබූ පෙට්ටියක බහාලමිනි. ඉදිරිය‌ේ දී එවැනි පෙට්ටි ද සොයාගත නොහැකි වනු ඇත.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ඡායාරූප ශිල්පී

නලින් හේමන්ත විසින් තැබූ සටහනක් ඇසුරින් සකස් කර ඇත.

කොළඹ මෘත ශරීරාගාරයේ මළ සිරුරු
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කොල්ලුපිටිය පාම්ග්‍රෝව් මාවතේ වැටී මියගොස් සිටි නන්නානදුනන පුද්ගලයාගේ මළ සිරුර ආදාහනයට යැවූ ආකාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here