spot_img
spot_imgspot_img

උසස් පෙළ සමත් සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය විනාශ කරලා. මොරටුවේ කළු දිනයක්

පුවත්

විදෙස්

මෙවර උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින් සමත්ව ඉංජිනේරු විෂයයන් හැදෑරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන්ට සම අධ්‍යපනයක් ලැබීමේ අයිතිය අහිමිකර ඇතැයි ශිෂ්‍යයෝ චෝදනා කරති.

මෙම අවස්ථාව අහිමිවී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් ලබාගත් අත්තනෝමතික තීරණයකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද අනුමැතිය ලබාදීමෙනි.

ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය සමත් ව ඉංජිනේරු විෂයයන් හැදෑරීමට සුදුසුකම් ලබන සියලුම ශිෂ්‍යයන් පළමු මාස හයක කාලය පොදුවේ සමාන අධ්‍යාපනයක් ලබා ඉන් පසු පැවැත්වෙන විභාගයක් අනුව දක්වන කුසලකා සහ ඔවුන්ගේ කැමැත්ත අනුව විවිධ ක්ෂේත්‍රයන් හැදෑරීම සඳහා යොමුකරනු ලබයි.

මෙය සෑම විශ්වවිද්‍යාලයක ම මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමයයි.

නමුත් මෙවර මොරටුව විශ්වවිද්‍යාලයේ එම ක්‍රමය වෙනස් කර ඇත. විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීමේ විස්තර ඇතුළත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද උපදෙස් පොතෙහි සහ මොරටුව විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ 2022 උසස් පෙළ විභාගය පදනම්ව බඳවා ගන්නා සිසුන්ට වෙනත් වර්ෂවල මෙන් පෙර අධ්‍යයන වාරය සහ ක්ෂේත්‍ර හුරුපුරුදු වීම අවසානයේ විශේෂඥ විෂයයන් සඳහා අනුයුක්ත කිරීම සිදු නොකරන බවත් අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය සළකා බලන බවත් දක්වා ඇත.

ශිෂ්‍ය සංගම් චෝදනා කරන්නේ මෙම ක්‍රමය අසාධාරණ බවයි. කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ, කුරුණෑගල සහ මහනුවර වැනි දිස්ත්‍රික්කයන් හි ඉහළ ඉසෙඩ් අගයක් ගන්නා සිසුන්ට වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලා හැදෑරීමට මේ හේතුවෙන් වැඩි අවස්ථාවක් හිමිවන බවත් දුෂ්කර පළාත්වලින් පැමිණෙන සිසුන්ට එම අවස්ථා මඟහැරී යන බවත් ඔවුහු චෝදනා කරති

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ම මහාචාර්යවරයකු අප සමඟ කියා සිටියේ නව ක්‍රමයෙන් සිසුන්ට දැඩි අසාධාරණයක් ‍සිදුවන බවයි. සිසුන් සඳහා විභාග පවත්වා ඔවුන් වර්ගීකරණය කිරීමේ සංකිීර්ණ ක්‍රියාවලිය වෙහෙසකර බැවින් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තම පහසුව සඳහා මේ ආකාරයෙන් පැවති ක්‍රමය වෙනස් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංගගෙන් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදයන්ග ‍හේමපාලගෙන් මේ පිළිබඳ විමසීමට අපි ඔවුන් දෙදෙනාගේම ජංගම දුරකථනවලට අවස්ථා කිහිපයක දී ම ඇමතුම් ගත්ත ද ඔවුන් කිසිම අවස්ථාවවක දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදුන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!