ලාබාල දැරියක මවක් බවට පත්කිරීමේ සිද්ධියක් කිසිදු වෛද්‍යවරයකුට හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ යට ගැසිය නොහැකි කරුණක් බවත් ව්‍යවස්ථාපිත අපරාධමය වරදක් සැඟවීමට චක්‍රෙල්ඛයක් මගින් නොහැකි බවත් ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පසුගිය සෙනසුරාදා (26) ළදරු මවක සම්බන්ධයෙන් ළමා වාට්ටුවේ වෛද්‍යවරු අධිකරණ වෛද්‍ය අංශයට සහ ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කළ අවස්ථාවේ දී ඊට එරෙහි වූ ළමා ශල්‍ය වෛද්‍යවරයකු එම ළමා මව බලහත්කාරයෙන් වාට්ටුවෙන් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
rata.lk අපි මෙම සිද්ධිය වාර්තා කළ අතර මෙය අපරාධමය වරදක් බැවින් දරුවකු බිහිකළ ළමා මව පිළිබඳවත් එම සිද්ධියේ දී අපරාධමය වරදක් සැඟවීමට උත්සාහ ගත් වෛද්‍යවරයාගේ නමත් මාධ්‍ය ආචාරධර්ම අනුව හෙළි කිරීමෙන් අපි වැළකී සිටිය අතර ඔවුන්ගේ අනන්‍යතාව උපරිමයෙන් ආරක්ෂා කළෙමු. ඒ අනුව වාර්තා කළේ සිද්ධිය පමණි. එහි දී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංගනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් පසුගිය 01 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එම මාධ්‍ය හමුවට එක් වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ කියා සිටියේ ළමා මව රෝහලෙන් ඉවත් කරගෙන ගිය වෛද්‍යවරයා තමන් බවයි.
මෙම සිදුවීම වාර්තා කිරීමේ දී අපි, එම ගැටලුව ඇතිකළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ සම්බන්ධ ඔහුගේ අනන්‍යතාව හෙළි නොකිරීමට මාධ්‍ය ආචාරධර්ම අනුව කටයුතු කළ ද ඔහු ඉදිරිපත් වූ බැවින් ඔහුගේ අදහස් මෙලෙස පළ කරන්නෙමු. එම මාධ්‍ය හමුවේ දී විශේෂඥ වෛද්‍ය ලියනගේ මෙසේ කීවේය.
“මම මේ අලුත උපන් බිළිඳාට සැත්කමක් කළා. ඒ වගේ සැත්කමක් පිටරටක කළා නම් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් විතර වැය වෙනවා. වෛද්‍ය වෘත්තිකයන්ගේ යුතුකම තමයි තමන් වෙත පැමිණෙන රෝගීන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම. යෞවනයන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සැපයීමේ දී ඒ සම්බ්නධ නීති අංශ වෙත වාර්තා කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2011 සහ 2015 වර්ෂවල දී නිකුත් කරන ලද පොදු චක්‍රෙල්ඛ මගින් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ඇති නීති රාමුව එයයි. මේ බිළිඳු රෝගියා සහ මව රෝහලේ වාට්ටුවකින් බලහත්කාරයෙන් ඉවත් කළා යැයි මාධ්‍ය වාර්තා පළවීම පදනම් විරහිතයි. එය සිදුකළේ දැනට පවතින නීතියට එකඟව.“
ආචාරධර්ම ආරක්ෂා කරනවා යැයි පවසන විශේෂඥ වෛද්‍ය ජනත් ලියනගේ අලුත උපන් දරුවාට කරන ලද සැත්කම සහ තිබූ රෝගී තත්වයත් හෙළිකරයි. එය වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි ක්‍රියාවක් බව බුද්ධිය ඇති ඕනෑම අයකුට පැහැදිළි කරුණකි.
මෙහි දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ භාණ්ඩාගාරික වෛද්‍ය කමල් කොඩිකාර පවසන්නේ මේ මාධ්‍ය වාර්තා පළවීම නිසා මෙවැනි රෝගීන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වෙත පැමිණීමට පසුබට විය හැකි බවයි.
වෛද්‍ය ජනිත් ලියනගේ සේවය කරන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ළදරු ඒකකයේ නොවේ. එහි සිටින රෝගියකු වෛද්‍ය නිර්දේශය මත නිවසට යැවීමේ රාජකාරිය බාරව ඇත්තේ ප්‍රතිකාර සඳහා රෝගියා ඇතුළත් කර සිටි වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත එම වාට්ටුවේ සිටින ප්‍රධාන හෙද නිලධාරිනියටය.
මාධ්‍ය සාකච්ඡාවේ දී විශේෂඥ වෛද්‍ය ජනත් ලියනගේ කියා සිටියේ,
“මේ මගේ රෝගියෙක්, එයා ගැන වගකීම තියෙන්නේ මට. ඒ නිසා මම වාට්ටුවට ගිහින් එහි වෛද්‍යවරියට කිව්වා මේ දරුවා ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ කියා. මෙයා ගැන මම වැඩ කරන්නේ. මම මේ ළමයා යවනවා කිව්වා. මම ඩිස්චාර්ජ් කරත් වාට්ටුවේ සිස්ටර් මේ ළමයා යවලා නෑ. දරුවන් අතවරයට ලක්වනවා (මෙම කරුණ කීමට වෛද්‍යවරයා භාවිතා කරන්නේ ආචාරධර්ම අනුව අප ප්‍රකාශ නොකරන වචනයකි) ලාබාල ළමයි දරුවන් බිහිකරනවා. ඒත් අපි ඒවා ගැන දන්වන්න ඕනෑ නෑ. අධිකරණය මේ පවර් එක අපිට දීලා තියෙනවා. මේවා පොලිසියට අධිකරණයට කියන දේවල් ඉස්සර තිබුණා. නමුත් දැන් එහෙම නෑ. ඒවා කියන්න ගියොත් මේ වගේ අය රෝහලට එන්නේ නෑ. ඒ නිසා මම කරපු දේ ගැන සැකයක් තියාගන්න එපා.“
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු කළ ද රෝහල් අධයක්ෂවරයා ළමා වාට්ටුවේ කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ පොලිසියට කිසිවක් කීමට අවශ්‍ය නැති බවයි. අධ්‍යක්ෂවරයා ද සිද්ධිය සැඟවීමට උත්සාහ ගනී.
බිළිඳු දරුවාට තිබූ රෝගී තත්වයත්, තමන් සිදුකළ සැත්කම ගැනත් වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් මාධ්‍ය හමුවේ දී අදහස් දක්වන වෛද්‍ය ජනත් ලියනගේ පවසන්නේ එහි වටිනාකම මිලියන දෙකක් බවයි. ඔහු ආචාරධර්ම හඳුනන්නේ නැති බව එයින්ම පැහැදිළි වෙයි.ෙ
ඔහු දැන් පවසන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගීන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇති චක්‍රලේඛයක් අනුව තමන් කළ කාර්යය නිවැරදි බවයි.
ළමා මවක් විසින් දරුවකු බිහිකර ඇති බව මහාචාර්ය ඒකකයෙන් කරන ලද දැනුම් දීමකට අනුව එම ළමා මව පරීක්ෂා කළ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“බාලවයස්කාර දැරියක් ලිංගික අතවරයකට ලක්වීමක් හෝ ලිංගික එක්වීමක් නිසා ගැබ්ගෙන ඇත්නම් ඒ බව අනිවාර්යයෙන් ම වාට්ටුව මගින් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දෙනවා. නමුත් එහෙම කළා කියලා මේ දැරිය දඬු කඳේ ගහන වැඩ කරන්නේ නැහැ. අපිට ප්‍රධානව පැවරෙන වගකීම තමයි ඒ බාලවයස්කාර දැරිය පරීක්ෂා කරලා ඇය ආරක්ෂා කිරීම. ඒ දරුවෙක් ඉපෙදන්න ඉන්වානම් හෝ දරුවකු ලැබිලා නම් ඒ දරුවා ආරක්ෂා කළ යුතුයි. රටේ සාමාන්‍ය නීතිය අනුව අපි කටයුතු කරනවා. දරුවාගේ අනන්‍යතාව බාහිරයට හෙළි වෙන්න දෙන්නේ නැහැ. එහෙම හෙළි නොකරනවා කියන්නේ ළමා ආරක්ෂණ අධිකාරියට හෝ පොලිසියට නොකියා ඉන්න එක නෙවෙයි. විශේෂයෙන් ම දරුවකු ලැබීමට ඉන්නවානම් ඒ ලැබෙන්න එන්න දරුවාගේ වර්ධනය නිරෝගී දරු උපතක් ගැන සැළකිලිමත්වීම වැදගත්. ඒ නිසා ළදරු අම්මා නීතිය ඉදිරියට ගෙනයන්න අවශ්‍ය නෑ. තාත්තා කවුද කියලා හොයාගෙන තාත්තාට වගකීමකින් බැඳ තබාගැනීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. ඒකටත් තාත්තා අවිවාහකයෙක් වගේම මේ වගකීම බාරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මේ ළදරු අම්මාත් දරුවාත් මා පරීක්ෂා කළා. ඒ වෙලාවේ බිළිඳියගේ තාත්තා කියන තරුණයාගේ අම්මා හිටියා. ඔවුන්ට අපි උපදෙස් දුන්නා මුලින්ම මේ බිළිඳිය වෙනුවෙන් උප්පැන්න සහයතිකය හදලා දින කිහිපයකින් මට ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේ ම ඔවුන් අනාගතයේ දී විවාහ වීම තහවරු කළ යුතුයි. ඒ සඳහා අධිකරණ කටයුත්තක් තිබෙනවා. නමුත් දැන් ඒ දරුවන් රෝහලෙන් ඉවත්ව ගොසින්. ඒ නිසා උප්පැන්න සහතිකය සෑදීම පවා සිදුවෙනවා ද කියා දන්නේ නෑ.“
මේ සම්බන්ධයෙන් අපි ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකුට තමන්ගේ කැමැත්තෙන් හෝ ලිංගිකව එකතු වෙන්න බැහැ. මේ වට යන්තම් අවුරුදු 15 ලැබුණා විතරයි. ඒ නිසා මේ දරුවා ගැබ් ගෙන තිබෙන්නේ වයස අවුරුදු 14 දී. ඒ අනුව මේ දරුවාට සිදුව තිබෙන්නේ ව්‍යවස්ථාපිත අපරාධමය වරදක්. ඒ වගේ සිද්ධියක් චක්‍රලේඛයකින් හෝ වෙනත් වෛද්‍යවරුන්ගේ සංකල්ප අනුව යට ගහන්න බැහැ. මා දන්නා තරමින් අපරාධමය වරදක් සැඟවීම හෝ සැඟවීමට ආධාර අනුබල දීමත් අපරාධමය වරදක්. කොහොම වුණත් මේ දරුවා ගැන කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පසුගිය සිකුරාදා වන තුරුම අපට වාර්තා කර තිබුණේ නැහැ. නමුත් මා ළමා ආරක්ෂණ අධිකාරියේ නීති උපදේශන අංශයට දැනුම් දුන්නා මේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් අවශ්‍යයි කියා. මෙවැනිම සිද්ධියක් මඩකලපුවේ රෝහලක සිදුවුණා. එහේ අවුරුදු 16යි මාස කිහිපයක දරුවෙකුට ළමයෙක් ලැබිලා තිබුණා. නමුත් පොලිසිය කටඋත්තරයක් ගන්නතුරු ළමයාගේ ටිකට් කපන්නේ නෑ කියා වෛද්‍යවරු මේ ළමයා නිවසට යැව්වේ නෑ. එතකොට මේ දරුවා ගැබ්ගෙන තිබෙන්නේ අවුරුදු 15යි මාස කිහිපයකින්. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ ගැන අපිට කිව්වා. අපි දුන් උපදෙස තමයි ඒ සිද්ධියට සම්බන්ධ තරුණයා කවදා හෝ මේ දැරිය විවාහ කරගැනීමට කැමැත්ත දී ඇති නිසා උසාවියට කරුණු වාර්තා කරන්න කියා. සිදුවිය යුත්තේ ඒක. සෞඛ්‍ය අමාත්‍යාංශයට රටේ අපරාධමය නීතිය වෙනස් කරන්න බෑ.“
මේ අනුව පැහැදිළිව පෙනෙන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනිත් ලියනගේ අපරාධමය වරදක් සැඟවීමට ගන්නා ලද උත්සාහය අප ඔහුගේ නමින් හෙළිදරව් නොකළ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහු ඉදිරිියට දමා අපරාධමය වරදක් සැඟවීම සඳහා හේතු ඉදිරිපත් කරමින් සිටියි.
විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ පවසා සිටියේ මෙවැනි අපරාධමය වරදක් සම්බන්ධයෙන් වාර්තා නොකර සිටීමට අධිකරණය විසින් වෛද්‍යවරුන්ට බලයක් දී ඇති බවයි.
නමුත් ඒ පිළිබඳ සොයා බැලීමේ දී වෛද්‍යවරුන්ට එවැනි බලයක් අධිකරණය මගින් ලබා දී නැත. රටේ ව්‍යවස්ථාපිත නීතිය මගින් අපරාධමය වරදක් ලෙස සැළකෙන මෙවැනි වරදක් සැඟවීමට ඔවුන් උත්සාහ ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛයක් අනුව යමිනි. එම චක්‍රෙල්ඛය නිකුත් කර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මත බව ද වෛද්‍යවරු කියති.
පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.
මේ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියට අදාලව ඉතිහාස කතාන්තරයක් තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයකු ළමා මවක් සම්බන්ධයෙන් තොරතුරු සැඟවීයැයි පොලිසිය සහ අධිකරණය නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුව නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී ඇත්තේ වෛද්‍යවරයකු ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් වාර්තා නොකර සිටියායැයි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසයි. එම උපදෙස් ලිපියෙන් වෛද්‍යවරු එවැනි අපයෝජන ගැන දැනුම් දීම අනවශ්‍ය යැයි කිසිම අයුරකින් කියා නැත.
නීතිපතිවරයා යනු සමාගමක නීති නිලධාරීවරයා හා සමානව රජයේ නීති නිලධාරියාය. රටේ වලංගු නීතියක් වෙනස් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති අතර නීතිපතිවරයා පැවසූ බව කියමින් රටේ අපරාධ නීතියේ සඳහන් වගන්තිවලින් වැළකී සිටීමට කිසිදු පුරවැසියකුට හැකියාවක් නැත. වෛද්‍යවරුන්ට ද නීතිපතිවරයා පැවසූ බව කියමින් අපරාධමය වරදක් සැඟවීමට කිසිදු අවකාශයක් නැත.
නීතියක් යනු කුමක් ද යන්න ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 270 වැනි වගන්තියේ විසත්ර කර ඇත. ඒ අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදාකයක් විසින් අතිකරණ ලද නියෝගයක් සහ රාජ සභා ආඥා පනතක් පමණි.
ඒ අනුව නීතිපතිවරයා විසින් පොලිසියට නිකුත් කරන ලද උපදෙසක් හෝ එවැනි උපදෙසක් පදනම් කරගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ චක්‍රලේඛයක් මෙරට නීතියක් වන්නේ නැත.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ දක්වා ඇති වරදක් නීතිපතිවරයාගේ උපදෙසක් මත හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛයකින් හෝ වෙනස් කිරීමට වෛද්‍යවරුන්ට බලය ලැබෙන්නේ නැත.
එයින් පැහැදිළිවන්නේ නීතිපති ලබාදුන් උපදෙස් අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් අනුව කටයුතු කරනවා යැයි කියන වෛද්‍යවරු අපරාධමය වරදක් සඟවන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
(ඡායාරූපය දසත ලංකා වෙතිනි)