spot_img
spot_imgspot_img

පක්ෂ ලේකම් ධූරය අහිමි වූ තිස්ස විතාරණ, ලංකා සමසමාජ මූලස්ථානයට බලෙන් රිංගයි

පුවත්

විදෙස්

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ කිසියම් පිරිසක් සමඟ පැමිණ තම පක්ෂ මූලස්ථානයේ දොරගුළු කඩා බලහත්කාරයෙන් එම පරිශ්‍රයට ඇතුළු වී ඇතැයි පක්ෂ මූලස්ථානයේ යතුරු බාරව කටයුතු කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සෝමරත්න ගෝමස් විසින් මරදාන පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ පසුගිය අප්‍රේල් 22 වැනි දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තිස්ස විතාරණ වෙනුවට පක්ෂ ලේකම්වරයකු පත්කරගත් බවයි.

එලෙස වෙනත් ලේකම්වරයකු පත්කර තිබිය දී හිටපු ලේකම් තිස්ස විතාරණ අත්තනෝමතික ලෙස තමන් ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් පක්ෂයේ කටයුතුවලට බාධා එල්ලකරන බව පවසමින් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අධිකරණයේ නඩුවක් ද ගොනුකර තිබිණි. ඒ අනුව තිස්ස විතාරණට තවදුරටත් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් පසුගිය ජූලි 17 වැනි දින කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

ලංකා සමසමාජ පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තිස්ස විතාරණ කටයුතු කරන බවත්, එමගින් පක්ෂය හෑල්ලුවට ලක්වන බවත්, පක්ෂයේ ඇති දේපළ අනතුරට ලක්කර ඇති බවත් එමගින් පක්ෂය පරිහානියට පත්වන බවත් ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා අතර විය.

වෙනත් ලේකම්වරයකු පත්කිරීමෙන් පසු අප්‍රේල් 30 වැනි දින පක්ෂ මූලස්ථානයට කඩා වැදුණු තිස්ස විතරණ ඇතුළු මැර කණ්ඩායමක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ නියෝජ්‍ය ලේකම් ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසකට පහර දුන් අතර ඊට පසුදින සංවිධානය කර තිබූ මැයි දින සැමරුම කඩාකප්පල් කිරීමට ද උත්සාහ ගෙන තිබිණි.

ඉන්පසු ජූලි 17 වැනි දින තිස්ස විතාරණට තවදුරටත් ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් ලබාදුන් වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් දෙවරක් දීර්ඝ කළ අතර එය පසුගිය අගෝස්තු 23 වැනි දා ඉවත් කරන ලදී. එම ඉවත්කිරිමෙන් පසු ඔහු නැවත මෙලෙස පක්ෂ මූලස්ථානයේ දොරගුළු කඩා එහි ඇතුළු වී තිබේ.

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ලේකම් තිස්ස විතාරණගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව ලංකා සමසමාජ පක්ෂය කොළඹ දිසා අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් ගොනු කිරීමට කටයුතු කර ඇති බවත්, මරදාන පොලිසිය මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඇති බවත් ලංකා සමසමාජ පක්ෂය කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!