3.9 C
New York

මාරාන්තික රෝගය බන්ධානාගරයෙන් එළියට පනී ? කරාපිටියේ දී සිදුවූ ළදරු මරණයක් ගැන සැකයක්

Published:

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇතැයි ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුවූ ළදරු මරණයක් හේතුවෙන් සැකයක් ඇති වී තිබේ.

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස මාස 08ක දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසන්නේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය නිසා සිදු වූ බවට සැකයක් පවතින බවයි.

එබැවින්, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න උපදෙස් ලබා දී තිබේ.

හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මෙසේ කීවේය.

“මෙම දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති වී පසුව උණ සෑදීම නිසා පුද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර අරගෙන ඒත් සුව නොවූ නිසා කරාපිටිය රෝහලට ඊයේ (25) සවස ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිහින්. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයා කීවේ මෙනින්ගොකොකල් රෝග ලක්ෂණ දරුවාගේ දක්නට ඇති බව. නමුත් ඒ බව තහවරු කරගැනීම සඳහා සිරුරේ පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර තිබෙනවා. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ වාර්තාව අනුව මෙ මරණය සම්බන්ධයෙන් දැනට ලබා දී තිබෙන්නේ විවෘත තීන්දුවක්. පරීක්ෂණාගාර වාර්තා ලැබුණාට පසු ස්ථිරව ම කිව හැකියි.“

දරුවාගේ මෙනින්ගොකොකල් රෝග ලක්ෂණ දක්නට ඇති බැවින්, අධිකරණ වෛද්‍යවරයා ඥාතීන් කැඳවා ඔවුන්ට උණ, ඇඟ කැසීම, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගත වන ලෙස ද දැනුම් දී තිබේ.

හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ මේ මරණය සම්බන්ධයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද දැනුම්වත් කර ඇති බවයි.

Related articles

Recent articles

spot_img