spot_img
spot_imgspot_img

මාරාන්තික රෝගය, ගාල්ල බන්ධනාගාරයෙන් එළියට පනී ?

පුවත්

විදෙස්

ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මෙනින්ගොකොකස් රෝගය බාහිර සමාජයේ පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය විශේෂඥවරු පෙන්වා දෙති.

මෙය මාරාන්තික රෝග තත්වයකි. Neisseria meningitides  නමැති බැක්ටීරියාව හේතුවෙන් ඇතිවන මෙම රෝගය ස්නායු පද්ධතියට සහ මොළයට හානිකරන අතර, ඇතැම් අවස්ථාවල දී රුධිරය විෂවීමට ද හේතු වේ. ඇඟ කැසීමෙන් හටගන්නා කුෂ්ඨ රෝගී තත්වයක් සහ උණ මෙම රෝගයේ මූලික ලක්ෂණ වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මෙනින්ගොකොකස් බැක්ටීරියාව ශරීරගතවන පුද්ගලයන්ගෙන් 05%-10%ත් අතර ප්‍රමාණයක් මරණයට පත්වෙයි. මෙම රෝගය සඳහා දැනටමත් එන්නත් ඇති අතර ප්‍රතිශක්තිය අඩු දරුවන්, වැඩිහිටියන්, රෝගීන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉතාමත් අසාධ්‍ය තත්වයකට පත්වන බව වෛද්‍යවරු කියති.

මෙම රෝගය හේතුවෙන් දැනටමත් බන්ධනාගාරයේ හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම සීමා කර ඇති අතර රැඳවූවන් අධිකරණ කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව සති දෙකක කාලයක් සඳහා නවතා දමා තිබේ.

ඊයේ සවස්වන විට මෙම රෝගය ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු බන්ධනාගාරයෙන් වාර්තා වී තිබූ අතර ඉන් 07 දෙනකු බන්ධනාගාර රෝහලේත් 09 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර සඳහා යොමුකර තිබිණි.

බෝවන රෝග රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ මෙම රෝගය පිළිබඳ දැඩි අවදානයක් යොමුකළ යුතු බවයි. එය බාහිර සමාජයට පැතිරීමට ඉඩ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පසුගිය දිනවල බන්ධනාගාරයට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට දැනුම් දී ඇති බවත් රෝගය වැළැක්වීම සඳහා රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ද ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

ඔහු සඳහන් කරන්නේ රිමාන්ඩ් කර සිටි පුද්ගලයකු ඇප ලබා නිවසට ගිය පසු ඔහු මෙම රෝගයෙන් මියගොස් ඇති බවයි. රෝගය බන්ධනාගාරයට පැමිණියේ ඔහුගෙන් යැයි සැකයක් පවතින බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.

ඒ අනුව මෙම රෝගය බාහිර සමාජයෙන් බන්ධනාගාරයට පැමිණ ඇත්නම් මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ වෙනත් ස්ථානවල ද මෙම රෝගය ව්‍යාප්ත වෙමින් තිබීමට ඉඩ ඇත. බන්ධනාගාරයේ සිට රෝහල්ගත කර ඇති පුද්ගලයන් සහ මියගිය රැඳවූවන් දෙදෙනා මේ රෝගයට ගොදුරුව සිටින බව මුලින් හඳුනාගෙන නොතිබූ බැවින් ඔවුන් සමඟ කටයුතු කළ වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය ද මේ වනවිට අවදානමකට ලක්ව සිටින අතර එම රෝගීන් සිටි වාට්ටුවල සිටි සෙසු රෝගීන් ද මේ වනවිටත් රෝගය ආසාදනය වූ හෝ රෝගය පතුරුවන වාහකයන් බවට හෝ  පත්ව සිටීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන් ම පසුගිය දිනක බන්ධනාගාරයේ සිට කරාපිටිය ‍ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය රැඳවියකු පළා ගොස් තිබිණි. ඔහු ද ඒ වනවිට රෝග වාහකයකු වී සිටියේ ද යන්න තවමත් තහවරු වී නැත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් 1,023ක් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!