spot_img
spot_imgspot_img

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගඩි ගැන, පැමිණිලි කළ කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක්

පුවත්

විදෙස්

තමන් නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර සාරි තොගයක් තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘතියකට බව පවසමින් වංචා සහගත ලෙස ලබාගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අදාල ආයතන වෙත පැමිණිලි කළ ව්‍යාපාරික කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

එලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ කාන්තාව ඒ බව පොලිස්පතිවරයාට සහ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.

එලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගෞරී ප්‍රභාෂ්වරී අතුකොර්ළ නමැති කාන්තාවකි. ගුරුවරියක ලෙස සේවය කරමින් සිටි ඇය පසුව එම රැකියාවෙන් ඉවත්ව අත්යන්ත්‍ර සාරි නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන තැනැත්තියකි. තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරිනියක් පැමිණ ඇය හමුවී අත්යන්ත්‍ර සාරි නිෂ්පාදන කාර්යය අඩුආදායම්ලාභී කාන්තාවන් සඳහා ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනාවක් සකස්කරගෙන ඇත. එම යෝජනාව අනුව සමිතියක් ද පිහිටුවා එහි මූලික ප්‍රාග්ධනය ලබාගැනීම සඳහා බව පවසමින් ගෞරී ප්‍රභාෂ්වරී අතුකෝරළගෙන් ඇය නිෂ්පාදනය කර තිබූ සාරි තොගයක් රැගෙන ගොස් ඇත්තේ ඒවා විකුණා මූලික ප්‍රාග්ධනය ලෙස යොදා ගැනීමට සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ලැබෙන ලාභයෙන් එම මුදල් ගෙවා දැමීමේ පොරොන්දුව ඇතිවය.

නමුත් තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම ව්‍යාපෘතිය සිදුකර නොමැති අතර, එම සාරි හෝ මුදල් ද ගෞරී ප්‍රභාෂ්වරී අතුකෝරළ වෙත මෙතෙක් ලැබී නැත.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක් ම අදාල සංවර්ධන නිලධාරිනියගෙන් ඇය විමසා ඇතත් සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ගෞරී විසින් ඒ බව රාජ්‍ය සේවා කොමිසමට හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉහළ පරිපාලනයට පැමිණිලි කර තිබිණි. එමෙන්ම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, මහනුවර දිස්ත්‍රිික් ලේකම් සහ පාතහේවාහැර ප්‍රාදේශීය ලේකම් වෙත ලිඛිතව පැමිණිලි කර තිබිණි. ඒ 2022 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනි දා ය.

මෙලෙස පැමිණිලිකිරීමත් සමඟ ඇයට තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් රැසකගෙන් තර්ජන එල්ල වී තිබිණි. එම තර්ජන හේතුවෙන් ඇය මේ බව සමාජ මාධ්‍ය ජාලාවල ද සටහන් කර තිබිණි. එම සටහන් වෙත පැමිණි රාජ්‍ය නිලධාරීන් සිය නමින් ම සහ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් ඇයට අපහාස උපහාස සිදුකළ අතර වරින් වර දුරකථන ඇමතුම් ලබාදෙමින් තර්ජනාත්මක ප්‍රකාශයන් ද සිදුකර තිබිණි.

මේ පිළිබඳ ගෞරී තලාතුඔය පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය විත්තිකාර සංවර්ධන නිලධාරිනිය ද කැඳවා තිබූ අතර එහි දී පොලිසිය පවසා තිබුණේ තලාතුඔය ප්‍රාදේශීය ලේකම් යනු ප්‍රදේශයේ ඉහළම බලධාරියා බැවින් පොලිසියට කළ හැකි කිසිවක් නැති බවයි.

2023 මාර්තු මස 10 වැනි දා මහනුවර දිස්ත්‍රික් ලේකම් විසින් ලබාදුන් උපදෙස් අනුව විමර්ශන නිලධාරිනියක විසින් මූලික විමර්ශනයක් ආරම්  කර තිබූ අතර එයින් ද තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව ගෞරී චෝදනා කරයි.

ගෞරී ප්‍රභාෂ්වරී අතුකෝරළ පවසන්නේ තමන්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරන ලද්දේ මෙම සිද්ධිය පාදක කරගෙන බවයි. හෙල්මටයකින් මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු තම නිවසට පැමණ ඇසිඩ් ප්‍රහාරය එල්ල කළේ යැයි ගෞරී පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.

තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වංචා දූෂණ හෙළිදරව් කිරීම හේතුවෙන්, තමන්ට ඇති වී තිබෙන මරණීය තර්ජන නිසා තමන් තාවකාලිකව පදිංචි ස්ථානයෙන් ඉවත්ව සිටින බවත් ආසන්න පොලිස් ස්ථානයෙන් විමර්ශන කිරීමේ දී තම ජීවිතයට වැඩි අවදානමක් ගෙනෙනු ඇතැයි ද ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

‍ගෞරී පවසන්නේ තමන්ගේ ජීවිතයට ඇති තර්ජන හේතුවෙන් රජයේ රෝහලකට නොගොස් ප්‍රතිකාර ලබාගැනීමට සිදු වූ බවයි.

තලාතුඔය පොලිසියෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ මෙවැනි ඇසිඩ් ප්‍රහාරයක් ගැන පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. ඉහළට පැමිණිලි කර ඇත්දැයි නොදන්නා බව ද එවැනි පැමිණිල්ලක් ගැන ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් මෙතෙක් දැනුම් දීමක් නොලැබුණු බව ද තලාතුඔය පොලිසිය කියා සිටියේය.

පහතින් සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත විසින් මෙම සාරි සිද්ධිය සම්බන්ධයෙන් තැබූ සටහනකි.

මහනුවර , තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “තක්කඩි” නිලධාරිනිය රකින “තක්කඩි” ප්‍රාදේශීය ලේකම්…….!!

===================================

“රාජ්‍ය” ව්‍යාපෘති පෙන්වා රුපියල් 85,500 ක අත් යන්ත්‍ර “සාරි” 25 ක් වංචා කිරීමේ ලැජ්ජ නැති වැඩක්…….!!

===================================

සාරියෙන් සැරසුණද , ගවුමෙන් සැරසුණද , වෙන කවර ඇදුමකින් සැරසුණද එහි මුලික පරමාර්ථය “විළි” වසා ගැනීම යි. මේ කියන්නට යන නෝනාවරුන් දෙදෙනා එලෙස “විළි” වසා ගැනීමට නෙක වර්ණයේ ඇදුම් ඇද සිටිය ද , ඔවුන්ගේ සැබෑ ක්‍රියා කළාපය නම් අමුම අමු “නිරුවත්” ය.

ඒ එක් අයෙකු තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බටහිර වසම භාරව සිටි ආර්ථික සංවර්ධන නිලධාරිනි යූ.ජී. අනූෂා උදයාංගනී ය. (පළමු ඡායාරූපයේ) අනෙක් තැනැත්තිය තලාතුඔය ප්‍රාදේශීය ලේකම් එම්.කේ. සාගරිකා දිල්හානි ය. (දෙවන ඡායා රූපයේ) මේ කියන්නට යන වංචනික ක්‍රියාව සිදුවී වසර එකහමාරක් පමණ ගත වී තිබේ. එහෙත් එම වංචනික ක්‍රියාවට ගොදුරුවූ “ගෞරී ප්‍රභාස්වරී අතුකෝරල” නමැත්තියට අද වනතුරු සාධාරණය ඉටුවී නැත. ඒ වංචාකාරිය ආරක්ෂා කිරීමට ප්‍රාදේශීය ලේකම්වරියගේ නොමද අනුග්‍රහය අඛන්ඩව ලැබීම හේතුවෙනි.

මුලා කිරීමේ ප්‍රථම පියවර……..!!

=============================

ගෞරී ප්‍රභාස්වරී අතුකෝරල නමැත්තිය අත් යන්ත්‍ර සාරි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නී ය. වර්ෂ 2021 නොවැම්බර් මස ඇය හමුවීමට තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එවකට තලාතුඔය බටහිර වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරිනි යූ. ඩී. අනූෂා උදයාංගනී පැමිණ තිබේ.

ඉහත අනූෂා උදයාංගනී ඇය පැමිණි හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ , සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2022 ජනවාරී සිට ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති යෝජනා කැදවීම සිදුකරන බෑවින් ඒ සදහා ගෞරී ප්‍රභාස්වරී ගෙන්ද ව්‍යාපෘති යෝජනාවක් ලබා දෙන ලෙස දැනුම් දීමට බවයි.

ගෞරී ප්‍රභාස්වරී රජයෙන් උදව් බලාපොරොත්තු නොවන හෙයින් ඒ ඉල්ලීම නොසළකා හැර තිබේ. එහෙත් ඉහත නිලධාරිනිය නැවත නැවතත් පැමිණ ව්‍යාපෘති යෝජනා ඉල්ලා සිටි බැවින් ඇය තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂ හමුවී අනූෂා උදයාංගනී කරන ඉල්ලීම ගැන විමසා තිබේ. ඔහුද එකී ඉල්ලීම ස්ථීර කිරිම නිසා අත් යන්ත්‍ර සාරි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් සකස්කර අනූෂා උදයාංගනී වෙත භාරදී තිබේ.

ඉන් සතියකට පසු අනූෂා උදයාංගනී ගෙන් තම ව්‍යාපෘති යෝජනාව ගැන ගෞරී ප්‍රභාස්වරී විමසා ඇතත් , එම යෝජනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී නොතිබුණි. පසුව තලාතුඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂවරයාට ද තම ව්‍යාපෘති යෝජනාවේ පිටපතක් ලබාදී තිබේ. කෙසේ වෙතත් පසුව දැන ගන්නට ලැබී ඇත්තේ තනි පුද්ගලයන්ට ව්‍යාපෘති ලබා නොදෙන බවත් , ව්‍යාපෘති ලබා දෙන්නේ කාන්තා සමිතිවලට බවත්ය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උවදෙස් පරිදි අනූෂා උදයාංගනීගේද මැදිහත් වීම සහිතව 2021/12/14 දින නුවර පාරේ දැල්පිටිය ග්‍රාමයේ කාන්තාවෝ දස දෙනකු ගෙන් සමන්විත කාන්තා සමිතියක් පිහිටුවා තිබේ. වංචාව ආරම්භ කර ඇත්තේ මෙතැනදී ය.

රුපියල් 85,500 ක අත් යන්ත්‍ර සාරි 25 ක් ඩැහැ ගැනීම………….!!

================================== අනූෂා උදයාංගනී ගෞවරී ප්‍රභාස්වරීට යෝජනාවක් ගෙන එමින් ඉල්ලා ඇත්තේ ඇය නිෂ්පාදනය කරන අත් යන්ත්‍ර සාරි 25 ක් ලබා දෙන ලෙසත් එය විකුණා ගෞරීගේ නිෂ්පාදනය වියදම ආපසු ලබා දී ඉන් ලැබෙන ලාබය පිහිටුවා ගත් සමිතියේ වියදම් සදහා යොදා ගන්නා බවත් ය. ඊට එකග වී ඇති ගෞරී ප්‍රභාෂ්වරී නිෂ්පාදන වියදම පමණක් ගණනය කර තමන් නිෂ්පාදනය කළ අත් යන්ත්‍ර සාරි 25 ක් අනූෂා උදයාංගනීට ලබා දී තිබේ. ඒ ඉදිරි මාස තුනක් ඇතුළත එම සාරි 25 නිෂ්පාදනය කිරීමට වැය වූ නිෂ්පාදන වියදම වූ රුපියල් 85,500 තමන්ට ගෙවන පොරොන්දුව මතයි.

දින සති මාස ක්‍රමයෙන් ගෙවී ගියද අලුතින් පිහිටවූ කාන්තා සමිතිය ක්‍රියාත්මක වීමක් හෝ තමන් ලබාදුන් ව්‍යාපෘති යෝජනාවට සිදුවූයේ කුමක්ද යන්නවත් ගෞරී ප්‍රභාස්වරීට දැන ගන්නට ලැබී නැත. තමා ගෙන් අනූෂා උදයාංගනී ලබාගත් සාරී 25 මුදල ඉල්ලා කොතරම් ඇවිටිලි කළද , අදාළ රුපියල් 85,500 මුදල ගෙවීම ඇය දිගින් දිගටම පැහැර හැර තිබේ. මුදල් ගෙවීම පැහැර හැරීම පමණක් නොව දුරකථන ඇමතුම් දෙන විට පරුෂ වචනයෙන් බැණ වැදීමද සිදුකර තිබේ.

ප්‍රාදේශීය ලේකම්ගේ නොමනා මැදිහත් වීම…………!

==================================

ඉහත වංචනික ක්‍රියාව පිළිබද ගෞරී ප්‍රභාස්වරී විසින් තලාතුඔය ප්‍රාදේශීය ලේකම් එම්.කේ. සාගරිකා දිල්හානි මහත්මියට වාචිකව , ලිඛිතව සියලු සාක්ෂි සහිතව දැනුම් දුන්නද ඇය තම නිලධාරිනියට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ඉන්පසු ගෞරී ප්‍රභාස්වරී අදාළ සිද්ධිය මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව , ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් යන සියලු බලධාරීන් වෙත දැනුම් දී තිබේ. සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා තමන් වෙත වාර්තා කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරියට දැනුම් දුන්නද ඉතා පක්ෂග්‍රාහී විමර්ශනයක් සිදු කළද , ගෞරී ප්‍රභාස්වරීට සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් වසර එකහමාරක් යනතුරු සාධාරණ තීන්දුවක් ලබාදී නැත.

තලාතුඔය පොලීසිය අත පිසදා ගැනීම.

=================================

තලාතුඔය පොලීසියට මෙකී වංචාව පිළිබදව පැමිණිලි කළද , ආයතනික මට්ටමින් විමර්ශනයක් ක්‍රියාමත්කවන බව පවසා පොලීසිය ද අත් පිසදා ගෙන තිබේ. තලාතුඔය ප්‍රාදේශීය ලේකම්වරිය තම නිලධාරිනියක් විසින් සිදුකර ඇති මේකී වංචාව සම්බන්ධයෙන් නිසි පියවරක් නොගන්නේ , අදාළ නිලධාරිනිය ගෞරී ප්‍රභාස්වරී ගෙන් වංචාකර ඇති අත් යන්ත්‍ර සාරි සාරී 25 න් යම් කොටසක් තමන්ටත් ලැබුණු නිසා ද ? යන්න විමසීමට සිදුව ඇත්තේ තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙනි.

එසේ නොවන්නේ නම් ක්‍රියාත්මක නොවන රජයේ ව්‍යාපෘති පෙන්වා වංචනික ක්‍රියා සිදු කිරීමට ඉඩ දී බලා සිටින්නේ මන්ද ? සාරි 25 ක වංචාවට අමතරව ගෞරී ප්‍රභාස්වරී ගෙන් ලබාගත් ව්‍යාපෘති යෝජනාවට සිදුවූයේ කුමක්ද යන්න විමර්ශනය කළ යුතු ය.

රජය කෙරෙහි වූ විශ්වාසය දඩමීමා කර ගනිමින්……..!

=================================

රටේ ජනතාව තවමත් රාජ්‍ය ආයතනයකින් යම් ව්‍යාපෘතියක් සිදුකරන බව දැන්වූ විට ඒ පිළිබඳ උපරිම විශ්වාසයක් ඇතිකර ගනී. රාජ්‍ය නිලධාරීන් මෙකී වංචා සිදු කරන්නේ එකී විශ්වාසයන් දඩමීමා කර ගනිමිනි. මේ වූකලී රාජ්‍ය සේවය ඉදිරියට කර ඇති බරපතල විෂමාචාරයකි.

ගෞරී ප්‍රභාස්වරීට තමන්ට සිදුවූ වංචාවට එරෙහිව නැගී සිටීමට හයියක් , දැනුමක් තිබේ. එවැනි ශක්තියක් නැති අහිංසක ග්‍රාමීය කාන්තාවන් කී දෙනෙක් මෙවන් වංචනිකයන්ට ගොදුරු වනු ඇද්ද ? මේ ලියුම්කරු තලාතුඔය ප්‍රාදේශීය ලේකම් “තක්කඩි” නාමයෙන් හැදින්වූයේ “තක්කඩි” නිලධාරිනියක් ආරක්ෂා කිරීම ද “තක්කඩි” ක්‍රියාවක් මිස අන් යමක් නොවන නිසා ය. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා තමා නියම කළ විමර්ශන නිසි ලෙස සිදු වූයේද යන්න දැන්වත් සොයා බැලිය යුතු ය.

(පෝද්දල ජයන්ත)

තලාතුඔය පොලීසියේ ලොකු මහත්තයෝ.!

===================================

පොලිස්පතිතුමා ඔබට “මුහුණු පොතේ” රාජකාරිය පැවරුවේ කවදා සිට ද …?

===================================

ඔබ ඉෂ්ට කරන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ “කුණු” කොන්ත්‍රාත්තුවක් ද………….?

===================================

ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමට රජය දියත් කරන ව්‍යාපෘතියක් පෙන්වමින් , එවැනි කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ගොඩනැංවීම කෙසේ වෙතත් අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන් කබලෙන් ළිපට ඇද දමන්නේ නම් , ඒ ගැන කවර කතාද ?

අවසානයේ ඒ පිළිබඳව මුහුණු පොතේ සටහනක් දැමූ පසු , එය වහාම ඉවත් කරන ලෙස වංචාවට ගොදුරු වූ තැනැත්තිය පොලීසියට ගෙන්වා දඹරගිල්ල ඔසවා “තර්ජනය” කරන්නේ නම්…..?

===================================

මහනුවර දිස්ත්‍රික්කයේ තලාතුඔය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනූෂා උදයාංගනී නමැති “තක්කඩි” සංවර්ධන නිලධාරිනියක් ඉහත රාජයේ ව්‍යාපෘතියක් පෙන්වා රුපියල් 85,500 ක සාරි වංචාවක් සිදුකර තිබේ. එකී වංචාවට ගොදුරු වූ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පදිංචි අත් යන්ත්‍ර සාරි නිෂ්පාදනය කරන ගෞරී ප්‍රභාස්වරී නමැත්තිය තමන්ට සිදුවූ වංචාව සිය මුහුණු පොතේ සටහන් කර තිබුණි.

ඒ වසර එකහමාරක් තිස්සේ තමන්ට සාධාරණයක් නොවුණු තැනයි. එකී සටහන දුටු මේ ලියුම්කරු තවදුරටත් තොරතුරු විමසා පසුගිය සතියේ දීර්ඝ අනාවරණයක් කළෙමි. පහත ලින්කුවෙන් එම ලිපිය කියවාගත හැකි ය.

https://m.facebook.com/story.php?story_fbid=6199869476768648&id=100002369713908&mibextid=Nif5oz

රාජ්‍ය සේවය අවභාවිත කොට ජනතාව මුලා කිරීම………….!!

===================================රජයේ “ව්‍යාපෘතියක්” පෙන්වමින් රාජ්‍ය සේවයේ නිල තුනතුරක් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “සංවර්ධන නිලධාරී” තනතුර “අවභාවිත” කර මේ වංචාව සිදුකර ඇති හෙයින්, ඉහත ගෞවරී ප්‍රභාස්වරී ඊට අදාළ සියලු රාජ්‍ය ආයතන වෙත ලිඛිතව දැනුම් දී තිබේ. මෙහි බරපතලම කාරණය වන්නේ අනූෂා උදයාංගනී නමැති මේ “තක්කඩි” රාජ්‍ය නිලධාරියගේ ප්‍රධානියාවන එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් එම්. කේ. සාගරිකා දිල්හානි කොන්දේසි විරහිතව ඇය ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කිරීම යි.

කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් විසින් ආයතන සංග්‍රහයට අනුව විමර්ශනයක් පවත්වන ලෙස එම ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකවන ඊ. ජී. එස්. ඇදගමගේට නියමකර තිබේ. සති තුනක් ඇතුළත එකී විමර්ශනය අවසන් කර වාර්තාවක් තමන් වෙත සපයන ලෙස නියමකර ඇතත් , එය අපක්ෂපාතීව සිදු නොවූ බව ගෞරී ප්‍රභාස්වරී ප්‍රකාශ කරන්නී ය.

මුහුණු පොතේ සටහන සහ තලාතුඔය පොලිස් ස්ථානාධිපතිගේ කුලප්පුව :

===================================

ගෞවරී ප්‍රභාස්වරීගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ ලියුම්කරු පසුගිය සතියේ ලියූ සටහනට උරණ වූ ඉහත අනූෂා උදයාංගනී නමැති තක්කඩි නිලධාරිය එකී සටහනටත් , ඊට පෙර ගෞරී ප්‍රභාස්වරී සිය මුහුණු පොතේ ලියූ සටහනටත් එරෙහිව තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහා අපරාධයක් සේ සළකා වහා ක්‍රියාත්මක වූ පොලීසිය ගෞරී ප්‍රභාස්වරීගේ නිවසට ගොස් කට උත්තර ලබා ගෙන “පෝද්දල ජයන්ත” නමැත්තා මේ ගැන ලියා ඇත්තේ කෙසේදැයි ඇය ගෙන් ප්‍රශ්න කර තිබේ. අනතුරුව ඇය තලාතුඔය පොලීසියට කැදවා තමන් මේ පිළිබඳව මුහුණු පොතේ ලියා ඇති සියලු දේ මකා දමන ලෙස එහි ස්ථානාධිපති වරයා දඹරගිල්ල ඔසවා තර්ජනය කර තිබේ. එහෙත් ගෞරී ප්‍රභාස්වරී එම තර්ජනය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

බලය අයුතු ලෙස භාවිත කරන පොලිස් ස්ථානාධිපති………!

==================================සිදුවී ඇති වංචාව පිළිබදව විමර්ශනය කොට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ “පොලිස්” රාජකාරිය “බල්ලට” දමා වංචාවට චෝදනා ලබා ඇති සැකකරුවන්ගේ පාර්ශ්ව කරුවකු වී තමන්ට කිසිසේත්ම අදාළ නැති , නීති “විරෝධී” තර්ජනාත්මක නියෝග පැන වීමට තලාතුඔය පොලීසියේ ස්ථානාධිපතිට මේ “බලය” පවරා ඇත්තේ කව්රුන් විසින් , කවර “අධිකාරි” බලයක් යටතේ ද යන්න විමසනු කැමැත්තෙමි. අහිංසකයන් දුටු විට “එළුවාද” රැවුල පාන බව අප ඕනෑ තරම් අසා තිබේ. මේ එවැන්නකි.

“යුක්තිය, සාධාරණය” පතා තමන්ගේ මේසය ඉදිරිපස වාඩිවී සිටින ගෞරවණීය මිනිසුන් තමන්ට යටහත් පහත් වැසියෝ බවට නිල ඇදුමේ ඌජාරුවෙන් “විරාජමාන” වන්නට දගලන මෙවැනි “තුට්ටුදෙකේ” වැඩ කරන “අප්පුහාමිලා” අපි ඕන තරම් දැක ඇති බව තලාතුඔය පොලීසියේ ස්ථානාධිපතිට මතක් කිරීමට කැමැත්තෙමු. මේ සියලු චණ්ඩිකම් පාන්නේ තලාතුඔය ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානිගේ උවමනාවට බවද අපි දැන සිටිමු.

රාජයේ ව්‍යාපෘති ගැන තවමත් දැඩි විශ්වාසයක් තබන රටේ මහ ජනතාවගේ එකී විශ්වාසය දඩමීමා කරගෙන කරන මෙවැනි වංචනිකයන් , තක්කඩීන් සෘජුව හෝ වක්‍රව යමෙකු ආරක්ෂා කරන්නේ නම්, ඔවුන්ද “තක්කඩි” ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි. ප්‍රාදේශීය ලේකම්වරිය “තක්කඩි” නාමයෙන් හැදින්වූයේ ද එනිසාම බවත් අවසන් වශයෙන් තලාතුඔය පොලීසියේ ස්ථානාධිපතිටත් , තලාතුඔය ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානිටත් මතක් කිරීමට කැමැත්තෙමි.

වැඩිමනක් වශයෙන් ………………!!!

================================= මේ ලියුම්කරුට අනූෂා උදයාංගනී යනු එක් “තක්කඩි” ගැහැණියක් පමණි. ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි යනු ඒ තක්කඩි ගැහැණිය ආරක්ෂා කරන ඉහළ නිලධාරිනියක් පමණි. තලාතුඔය පොලීසියේ ස්ථානාධිපති යනු මේ “තක්කඩීන්” රකින බලය අයුතු ලෙස ක්‍රියාවේ යොදවන තවත් එක් පොලිස් නිලධාරියෙක් පමණි. මෙකී හැදින්වීමේ “වචන” වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිකරණයක් තුළ “ඔප්පු” කිරීමේ ලිඛිත සාක්ෂි මා සතුව ඇති බවද අවධාරණය කරමි.

තලාතුඔය පොලිස් ස්ථානාධිපතිගේ දැන ගැනීම පිණිස පහත අමුණා ඇති “ලින්කුවට” අනුව මෑතකදී මවිසින් ලියන ලද තවත් “තක්කඩි” ගැහැණියක් වූ රාජ්‍ය ඇමතිනී “ඩයනා ගමගේ” සහ ඇය ආරක්ෂා කරන රටේ “පොලිස්පති” සහ රටේ “නීතිපති” ගැන වූ ලිපියත් අවශ්‍ය නම් කියවා ගත හැකි ය. “යුක්තිය, සාධාරණය” වෙනුවෙන් රටේ “පොලිස්පති” සහ “නීතිපති” පමණක් නොව”ජනාධිපති වුවද ඇත්ත “මාධ්‍යකරුවන්ට” මහ ලොක්කො නොවන විට , තලාතුඔය පොලීසියේ “ස්ථානාධිපති” කොහොමටත් මහ ලොක්කෙකු නොවන බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමි.

https://m.facebook.com/story.php?story_fbid=6157249884363941&id=100002369713908&mibextid=Nif5oz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!