spot_img
spot_imgspot_img

රටවැසියන් මරණ මංචකයට දක්කන, සෞඛ්‍ය සේවාවේ කෙරුවාව

පුවත්

විදෙස්

රෝහල් 14 ක ඖෂධ තොග පිළිබඳ විගණනය කිරීමේ දී ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ 15ක් සහ අත්‍යාවශ්‍ය ඖෂධ 1,205ක නොතිබූ බවත්, ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 49ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 943ක තොග මාසයක් සඳහා හෝ ප්‍රමාණවත් නැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කරන ලද විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ තොගවල අවම මට්ටම, අවදානම් මට්ටම, නැවත ඇණවුම් මට්ටම, උපරිම මට්ටම සහ සාමාන්‍ය මට්ටම පවත්වාගෙන නොයෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ මෙලෙස රටතුළ ප්‍රමාණවත් ඖෂධ නොමැතිවීමට හේතු වී ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ අකාර්යක්ෂමතාව බවයි. ඖෂධ මිල දී ගැනීමේ දී තොග පාලනය පිළිබඳ නොසළකා හැර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

1980 වර්ෂයේ ස්ථාපිත කරන ලද ජාතික සෞඛ්‍ය සභාව සෞඛ්‍ය ගැටලු ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා වැදගත් වේදිකාවක් වුව ද එය 2004 වර්ෂයේ සිට එවැනි කමිටුවක් රැස්වී නැත. එම ජාතික සෞඛ්‍ය සභාව රැස්නොවී  ජජාතික මෙහෙයුම් කමිටු සහ ජාතික කාර්ය සාධක බලකා වරින් වර පිහිටුවා ඇති බව ද විගණන කාර්යාලය පෙන්වා දෙයි.

පසුව පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව ද වසරක දී දෙවරක් රැස්විය යුතු වුව ද 2020 සහ 2021 වර්ෂවල දී පවත්වා ඇත්තේ එක් රැස්වීමක් පමණි. සෞඛ්‍ය සංවර්ධන කමිටුව වසරකට 06 වතාවක් රැස්විය යුතු වුව ද 2020 වර්ෂයේ රැස්වී ඇත්තේ එක් වරක් පමණි. 2021 වර්ෂයේ හතර වතාවක් එම කමිටුව රැස්වී තිබේ.

සෞඛ්‍ය සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්මට අනුව ජාතික සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩාවලට බලපාන අභ්‍යන්තර හදිසි අවශ්‍යතා සහ බාහිර හදිසි තත්වයන් මෙන්ම ඒවාට දැක්විය යුතු ප්‍රතිචාර සඳහා අවදානම් තක්සේරුවක් සකස් කිරීමෙම් වගකීම ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට වුව ද 2023 මාර්තු මස 21 වැනි දින දක්වාම එවැනි ක්‍රියාකාරකම් ආරම්භ කර තිබී නැත.

මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම පවා දුර්වල වී ඇතැයි ද සැළසුම් සකස්කිරීඹ මුළුමින්නම දුර්වල වී ඇතැයි ද විගණන කාර්යාලය අවධාරණය කරයි.

සියලුම මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත්, ඖෂධ සඳහා කාර්යක්ෂම තොග පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත් ජාතික විගණන කාර්යාලය සිය නිර්දේශ මඟින් පෙන්වා දී තිබේ. ඊට අමතරව රටේ සමස්ත සෞඛ්‍ය තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා ඉහළ සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් ස්ථාපිත කළ යුතු බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ජාතික සෞඛ්‍ය සභාව කඩිනමින් නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය සිය නිර්දේශ මඟින් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!