spot_img
spot_imgspot_img

සීනිගම දේවාලයේ ‍අනුහස්, පුස්සක් බව භාරකරුවෝ සනාථ කරති

පුවත්

විදෙස්

හික්කඩුව සීනිගම දේවාලයේ කෝටි ගණනක මුදල් අවභාවිතා කර ඇති බවත් ඒවා වියදම් කර ඇති ආකාරය පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බවත් 2021-22 වර්ෂවල විගණන වාර්තාවෙන් හෙළිවන බව බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.

කොරෝනා අරමුදල සඳහා ලබාදනෙ බව පවසමින් චෙක්පත් දෙකක් මගින් රුපියල් ලක්ෂ 10ක මුදලක් දේවාලයේ  ගිනුමෙන් රුපියල් ලක්ෂ 05 බැගින් 2020-04-17 සහ 06-28 දෙදින ලබාගෙන ඇතත් එම මුදල් කොවිඩ් අරමුදලට බැර කර නැත.

එමෙන්ම විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් විසින් ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සහ පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් ද විගණන වාර්තාවේ කරුණු දක්වා තිබේ.

සීනිගම දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුත කොමසාරිස් ජනරාල්වරයා වෙත විධිමත් ඇස්තමේන්තු ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු වුව ද එවැනි කාර්යයක් මෙතෙක් සිදුකර නැත. එම ගොඩනැගිල්ලේ පළමු මහල සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකර තිබෙන බව ද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ. නමුත් එම වියදම් සම්බන්ධයෙන් කිසිම ගිණුම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්ය මණ්ඩලය සතුව නැත. එබැවින් මුළු ඇස්තමේන්තුව හෝ එ් සඳහා වියදම් කරන ලදැයි කියන මුදලින් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්ද යන්න පිළිබඳ හෝ වාර්තා නැත.

මෙය 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වැනි වගන්තිය සහ 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සඳහන් නිරීක්ෂණ කිසිවක් නොමැතිව නීති විරෝධී ලෙස සිදුකරන කාර්යයක් බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සීනිගම දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන ඇතත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් සඳහන්ව නැති බවයි.

බෞද්ධ සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ සීනිගම දේවාලයේ සිදුවන මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් පරීක්ෂා කිරීම් රැසක් සිදුකළ බවයි. ඒ අනුව විගණනයක් සිදුකිරීමේ දී මෙම අක්‍රමිකතා හෙළිදරව් වූ බව ද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට කරුණු වාර්තා කර ඇති බවත් ලේකම්වරයා කියා සිටියේය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් කේ.සිරිවර්ධන පවසන්නේ ‍හික්කඩුව සීනිගම දේවාලයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන වාර්තාවල පැහැදිළිව කරුණු සඳහන් වන බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් ඉක්මණින් පියවර ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය. ඔහු පවසන්නේ විගණනය පවතින කාලසීමාවේ දී ම මෙම අකටයුතුකම් නවත්වන්න යැයි සීනිගම දේවාලයේ පාලන අධිකාරියට තරයේ අවවාද කර ඇති බවයි.

සීනිගම දේවාලයේ දෙවොල් දෙවියන්ගේ අනුහස් සහිත ස්ථානයක් යැයි ජනතාව අතර මතයක් තිබේ. සොරකමක් සිදුවූ විට සීනිගම දේවාලයට ගොස් මිරිස අඹරා පළිගැසූ විට එම හොරුන්ට දඩුවම් ලැබෙන බව ජනතාව අතර ඇති විශ්වාසයයි. නමුත් වරක් සීනිගම දේවාලයේ පිං කැටය සොරු කඩා තිබිණි. ‍අවසානයේ සිදුවූයේ පිංකැටය බේරාගැනීමට දෙවොල් දෙවියන් කෙසේ වෙතත් සීසීටීවී කැමරාවට බාරදීමයි. දෙවියන් බේරාගන්නට නවීන තාක්ෂණයේ පිහිට පැතීම එවර සිදුවිය. දැන් හෙළිදරව් වී ඇත්තේ දෙවොල් දෙවියන් ඉදිරියට දමා එහි පාලක මණ්ඩලයම වංචා දූෂණ සිදුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!