spot_img

හම්බන්තොට රෝහලේ සැත්කම් සියල්ල නවතී ?

පුවත්

විදෙස්

හම්බන්තොට මහ රෝහලේ සියලු ම සැත්කම් නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.

එම රෝහලේ සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා සේවය හැරදමා විදේශගත වීමෙන් මේ තත්වය උදා වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඔහු විදේශගත වී ඇති බව දැනගෙන ඇත්තේ අද (12) උදෑසන තමන් එංගලන්තයට පැමිණි බවට තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට කෙටි පණිවිඩ මගින් කරන ලද දැනුම්දීමකිනි.

දිනකට සැත්කම් 05ක් පමණ සිදුකිරීමට හමබන්තොට මහ රෝහලේ සැළසුම් කර ඇති අතර විවිධ සැත්කම් සඳහා පෙ‍රොත්තු ලේඛන පවා ඇත. ඊට අමතරව දෛනිකව පැමිණෙන හදිසි රෝගීන්‍ සඳහා ද සැත්කමක් කිරීමට අවශ්‍ය වුවහොත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා අත්‍යාවශ්‍ය වෙයි.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරයා විධිමත් අවසර ලබාගැනීමකින් තොරව විදේශගත වී ඇති බවයි.

එසේ වුව ද ඔහු දින කිහිපයක නිවාඩු රැගෙන ඇති බැවින් අනුමත නිවාඩු දින කිහිපය අවසන් වූ විට ඔහු පැමිණෙන්නේ ද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළැඹිය හැකි බව රෝහල් බලධාරීන් පවසයි.

මෙම විශේෂඥ වෛද්‍යවරයා විදේශීය පුහුණුව නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව සිය පළමු පත්වීම ලෙස පැමිණ ඇත්තේ හම්බන්තොට මහ රෝහලටය. ඒ මීට මාස 03කට පමණ පෙරාතුවය.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකරගෙන් විමසූ විට කියා සිටියේ රෝහලේ සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගත් නමුත් විදේශගතවන බවක් නොපැවසූ බවයි.  නමුත් ඔහු විදේශගත වී ඇතැයි අනෙකුත් වෛද්‍යවරුන්ට ලැබුණු පණිවිඩයකින් පවසා ඇතැයි ද අධ්‍යක්ෂවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles