ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ (30) ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 173ක් ලබාගත් අතර කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර 19.4ක දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 152ක් පමණි.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් තව්හිත් රිඩෝයි පන්දු 39ක දී හයේ පහරක් සහ හතරේ පහර 04ක් සමඟ ලකුණු 54ක් රැස්කළේය. දුනිත් වෙල්ලාලගේ පන්දු 23ක දී නොදැවී ලකුණු 25ක් ලබාගත් අතර ප්‍රියමාල් පෙරේරා පන්දු 16කින් ලකුණු 22ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 11ක දී ලකුණු 21ක් රැස්කළේ වේගවත් ආරම්භයක් ලබාදෙමිනි.
පිළිතුරු ඉනිම ආරම්භ කළ කලම්බු කණ්ඩායමේ බාබර් අසාම් ලකුණු 07කට සහ පැතුම් නිශ්ශංක එක් ලකුණකට දැවීයාමෙන් කඩාවැටුණු ඉනිම ගොඩගගැනීමට නායක නිරෝෂන් දික්වැල්ල හුදකලා සටනක නිරත වුව ද ඔහු පන්දු 34ක දී හයේ පහරක් සහ හතරේ පහර 09ක් සමඟ ලකුණු 58ක් රැස්කරගෙන සිටිය දී දැවී යාමෙන් පසු ඉනිම අඩාල විය.
කලම්බු ඉනිමේ කුලු 05ක් ලකුණු 87කට දැවී ගොස් තිබිය දී හයේ පහර 01ක් සහ හතරේ පහර 02ක් සමඟ ඉනිම ගොඩනැගීමට උත්සාහ ගනිමින් සිටි චාමික කරුණාරත්න ලකුණු 23කට දුවද්දී දැවීයාමත් සමඟ කලම්බු කණ්ඩායමේ බලාපොරොත්තු සුන්විය. ඔහු එ වනවිට මුහුණ දී සිටියේ පන්දු 15කට පමණි.
හාඩස් විලියන් ලකුණු 31කට කඩුලු 03ක් දවාගත් අතර විජයකාන්ත් වියස්ක්න්ත ලකුණු 17කට කඩුලු 02ක් ද ඩිල්ෂාන් මධුෂංක ලකුණු 18කට කඩුලු 02ක් ද බිඳ දැමුවේය.