spot_img
spot_imgspot_img

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක්

පුවත්

විදෙස්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවට පැමිණියේය. ප්‍රංශයේ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් ද්විපාර්ශවීය සාකච්ඡාවක් ද පැවැත්විණි

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.

මෑතකදී ප්‍රංශයේ පැවැත්වූ නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් සංකච්ඡාවක නිරත වී තිබිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශය ඉදිරිපත් වන බව එමානුවෙල් මැක්‍රොන් මෙම සාකච්ඡාවේ දී යළිත් තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවටද ප්‍රතිඥා දුන්නේය.

දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් විය.

ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!