spot_img
spot_imgspot_img

“අප්පච්චිගේ ගාලු පුතා” රජයේ දීමනා දෙන්න, තුණ්ඩුවක් ඉල්ලයි

පුවත්

විදෙස්

අඩු ආදායම්ලාභීන් සඳහා දැනට අනුමත වී ඇති ඉඩම් ලබාදීමට පෙර ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විසින් ඔවුන් තම පුද්ගලික කාර්යාලයට කැඳවා තිබේ. එසේ කැඳවමින් දැනුම් දී ඇත්තේ ඉඩම්, නිවාස හෝ නිවාස ණය ඉල්ලා ඇත්නම් ප්‍රදේශයේ තමන්ගේ නියෝජිතයකු ලෙස කටයුතු කරන ප්‍රාදේශීය සභා නියෝජිතයකුගෙන් ලිපියක් ද රැගෙන එන ලෙසයි
වසර ගණනාවක සිට ඉඩම් හා නිවාස අහිමි ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් රැසක් රජයෙන් ඉඩම්, නිවාස හෝ නිවාස ණය ඉල්ලා තිබිණි. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවා අවස්ථා ගණනාවක් සුදුසුකම් පරීක්ෂා කර බලා මේ වනවිට අවසන් ලේඛන සකසා ඇත.
එම ප්‍රතිලාභීන් පවසන්නේ 2023 මැයි මාසයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම අවසන් ලේඛන සකස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවයි. ඉන් පසු ඉඩම් ලැබීමට තෝරාගත් ප්‍රතිලාභීන් වෙත ග්‍රාම නිලධාරීන් ඒ බව පසුගිය දා දැනුම් දී තිබිණි.
එලෙස ඉඩමක් හිමි බව ග්‍රාම නිලධාරීන්ගෙන් දැනගත් පුද්ගලයන් වෙත පවා 2023-07-21 වැනි දිනැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළගේ අත්සනින් යුතු ලිපියක් ලැබී තිබේ.
එම ලිපියේ දක්වා ඇත්තේ අගෝස්තු 01 වැනි දින උදෑසන 9.00ට පිටිගල, පැලවත්ත පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට පැමිණ හමුවන ලෙසයි එලෙස පැමිණෙන විට ප්‍රතිලාභියාගේ කොට්ඨාසයේ සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා නියෝජනය කරන ප්‍රාදේශීය සභා නියෝජිතවරයාගෙන් හෝ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් තමන් පිළිබඳ නිර්දේශයක් ද ලබාගෙන පැමිණෙන්න යැයි එම ලිපිය මගින් දැනුම් දී ඇත.
රජයෙන් ඉල්ලීමක් කර ඊට අදාල සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට ඉඩම් ලබාගැනීමට සුදසුුකම් සපුරා ඇති පුද්ගලයන්ට සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ප්‍රාදේශීය නියෝජිතවරුන්ගේ නිර්දේශය කුමකට ද යන්න ගැටලුවකි.
මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“මගෙන් විශාල පිරිසක් පුද්ගලිකවත්, සමිති මට්ටමිනුත්, රජයේ ඉඩම්, නිවාස සහ නිවාස ණය ලබා දීම සඳහා නිර්දේශ කරන්න යැයි ඉල්ලීම් කරනවා. වසර ගණනාවක සිට කරපු ඉල්ලීම් තිබුණා. ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය ඉතාත් දීර්ඝ ක්‍රමවේදයක්. මේ දක්වා මගෙන් නිවාස, නිවාස ණය හෝ රජයේ ඉඩම් ඉල්ලා තිබූ පුද්ගලයන් කිහිප දෙනෙකුට අපි ලිපි යොමු කළා පැමිණ මා හමුවෙන්න කියලා. දැනට ඉඩම් දෙන්න අවශ්‍යයැයි නිර්දේශ ලැබුණු කිහිප දෙනෙක් එතැන ඉන්නවා ද කියා මා දන්නේ නෑ. මහජන නියෝජිතයන් හැටියට අපි මේ අයට උදව් කරන්න ඕනෑ. ඒ නිසා ලිපි යැව්වේ.”
සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයාගේ කැඳවීමේ ලිපි ලැබී ඇති ඇතැම් පුද්ගලයන් පවසන්නේ තමන් කිසිම දිනක මන්ත්‍රීවරයාගෙන් ඉඩම්, නිවාස හෝ නිවාස ණය ඉල්ලා නැති බවයි.

සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා මැතිවරණ ප්‍රචාරය සඳහා “අප්පච්චීගේ ගාලු පුතා” යනුවෙන් හඳුන්වාගත් බැවින් එහු තවමත් ඒ නමින්ම ප්‍රසිද්ධව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!